
මෙරට රුපියලේ අගය පහත වැටීම හමුවේ වුවද, ඖෂධ මිල සංශෝධනය කිරීමට බලධාරීන් පියවර නොගැනීම හේතුවෙන් ඉදිරියේදී දිවයින පුරා බරපතල ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ඖෂධ කර්මාන්තයේ නියුතු පාර්ශව අනතුරු අඟවති.

මෙරට රුපියලේ අගය පහත වැටීම හමුවේ වුවද, ඖෂධ මිල සංශෝධනය කිරීමට බලධාරීන් පියවර නොගැනීම හේතුවෙන් ඉදිරියේදී දිවයින පුරා බරපතල ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ඖෂධ කර්මාන්තයේ නියුතු පාර්ශව අනතුරු අඟවති.
ශ්‍රී ලංකා රුපියල පසුගිය මාස හයක කාලය තුළ පමණක් 5.6% කින් පහත වැටී ඇති අතර, 2025 ඔක්තෝබර් මාසයේදී ඇමරිකානු ඩොලරයක මිල රුපියල් 302.6 ක් ලෙස පැවතියද මේ වන විට එය රුපියල් 319.5 දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ ඖෂධ වෙළඳපොළෙන් 85%ක්ම විදේශීය ආනයනයන් මත පදනම් වේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) මාර්ගෝපදේශ අනුව විනිමය අනුපාතය 5%කට වඩා වෙනස් වුවහොත් උපරිම සිල්ලර මිල (MRP) සංශෝධනය කිරීමට අවසර හිමිවිය යුතුය.
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ (SLCPI) සභාපති ශාන්ත බණ්ඩාර පෙන්වා දෙන්නේ 2023 ජූලි මාසයෙන් පසු මෙතෙක් මිල සංශෝධනයක් සිදුවී නොමැති බවයි.
“වෙනත් සෑම භාණ්ඩයකම මිල ඉහළ ගියත්, ඖෂධ මිල සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා. පවතින විනිමය අනුපාතය හමුවේ මිල සංශෝධනයක් සිදු නොවුණහොත්, නව ඖෂධ ඇණවුම් ලබා දීමට අපට නොහැකි වනු ඇත.”
ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමයේ (SLPMA) සභාපති නලින් කන්නන්ගර පවසන්නේ මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාව හේතුවෙන් නාවික ගාස්තු (Freight), රක්ෂණ පිරිවැය සහ ප්‍රවාහන වියදම් ඉහළ යාම නිසා ඖෂධ මිල 25%කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. මෙය නිමි ඖෂධ ආනයනයට මෙන්ම දේශීය නිෂ්පාදනයට ද දැඩි බාධාවක් වී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ රුපියල පිරිහීම නිසා ඇති වී තිබෙන පීඩනය රජය පිළිගන්නා බවයි. ඩොලරයේ අගය ඉහළ යාමට සාපේක්ෂව මිල වැඩි කිරීමක් කළ යුතු බව ඔහු ද එකඟ විය.