
විදේශ ණය වාරිකයක් ගෙවීමට වෙන් කළ මහා භාණ්ඩාගාරයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් මිලියන 800කට අධික) මුදලක් වංචනික ලෙස වෙනත් ගිණුමකට බැරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රජය දැඩි පරීක්ෂණ ආරම්භ කර ඇත.

විදේශ ණය වාරිකයක් ගෙවීමට වෙන් කළ මහා භාණ්ඩාගාරයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් මිලියන 800කට අධික) මුදලක් වංචනික ලෙස වෙනත් ගිණුමකට බැරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රජය දැඩි පරීක්ෂණ ආරම්භ කර ඇත.
ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 22.9ක ද්විපාර්ශ්වික ණය වාරිකයක කොටසක් ලෙස මෙම මුදල වෙන් කර තිබුණද, එය අදාළ රටට මෙතෙක් ලැබී නොමැති බව අනාවරණය වී තිබේ.
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කළේ මෙය විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (ERD) පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් බවයි. ව්‍යාජ ඊමේල් උපදෙස් (Email instructions) මගින් මෙම මුදල් ප්‍රේෂණය කර ඇති බවට සැක කෙරේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩාගාරයේ නියෝජ්‍ය අධ්යක්ෂවරුන් දෙදෙනෙකු, අධ්යක්ෂවරුන් දෙදෙනෙකු සහ පරිගණක අංශ ප්‍රධානියා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.
සිද්ධිය පිළිබඳ විධිමත් විමර්ශනයක් සඳහා මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරුන් වන ඒ.එන්. හපුගල සහ එස්.එස්. මුදලිගේ සම සභාපතිත්වයෙන් යුත් තාක්ෂණික විමර්ශන කමිටුවක් පත් කර ඇත.
මීට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) සහ මධ්‍යම බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ද පරීක්ෂණ සඳහා දායක වී සිටී.
මෙම මූල්‍ය අපරාධය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ප්‍රශ්න කර සිටිති.
‘නිදහස් නීතිඥ සංවිධානය’ වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ මෙවැනි දැවැන්ත ගනුදෙනුවක් භාණ්ඩාගාර ලේකම්වරයාගේ හෝ නියෝජ්‍ය ලේකම්වරයාගේ අනුමැතියකින් තොරව සිදු කළ නොහැකි බවයි.
එබැවින් කනිෂ්ඨ නිලධාරීන්ට පමණක් වගකීම පවරා අත සේදීමට ඉඩ දිය නොහැකි බවත්, පාර්ලිමේන්තුව හරහා ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.
කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ මේ පිළිබඳව පාර්ලිමේන්තු මට්ටමින් පරීක්ෂණයක් පවත්වන්නේද යන්න කථානායකවරයා තීරණය කරනු ඇති බවයි.
රජය මේ වන විට පූර්ණ විමර්ශනයකට අවතීර්ණ වී සිටින අතර, වංචාවට සම්බන්ධ වූවන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.