තෙල් සහ ඩොලර් තිබුණත් නැව් නැති බලශක්ති අර්බුදය
image for තෙල් සහ ඩොලර් තිබුණත් නැව් නැති බලශක්ති අර්බුදය

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ලෝක ව්‍යාප්තව පවතින නාවික ප්‍රවාහන බාධා මෙරට බලශක්ති ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පාර්ලිමේන්තුවේදී ඊයේ (17) ප්‍රකාශ කළේය.

රජය සතුව ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය විදේශ විනිමය (ඩොලර්) පවතින නමුත්, ඉහළ රක්ෂණ වාරික සහ යුද අවදානම හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය සඳහා නැව් සොයාගැනීම ප්‍රධානතම ගැටලුව වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වත්මන් ඉන්ධන පරිභෝජන රටාව අනුව අප්‍රේල් සහ මැයි මාස සඳහා ප්‍රමාණවත් තොග පවතින බව අමාත්‍යවරයා සහතික කළේය. 

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් අප්‍රේල් 23 දක්වා ද, ඔක්ටේන් 95 පෙට්‍රල් මැයි 10 දක්වා ද, සුපර් ඩීසල් මැයි 10 දක්වා ද පවතින අතර වඩාත්ම සීමිත තොග පවතින්නේ සාමාන්‍ය ඩීසල් සඳහාය (අප්‍රේල් 12 දක්වා).

ඉන්ධන අර්බුදයට විසඳුම් ලෙස නව සැපයුම්කරුවන් සොයා ගැනීම සඳහා හදිසි ප්‍රසම්පාදන කමිටුවක් පත් කර ඇති අතර, බොරතෙල් සැපයුම සඳහා ලැබී ඇති ටෙන්ඩර් පරීක්ෂා කිරීම සහ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) සංචිත ලබා ගැනීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී ඇත.

රටේ ආර්ථික ක්‍රියාවලියට බාධාවක් නොවන අයුරින් විදුලිය අඛණ්ඩව ලබා දීමට රජය උපරිම උත්සාහයක් දරන නමුත්, පවතින තත්ත්වය හමුවේ විදුලි කප්පාදුවක ඇති හැකියාව සම්පූර්ණයෙන් බැහැර කළ නොහැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය. 

එසේම, වත්මන් QR කෝටා ක්‍රමය විද්‍යාත්මක පදනමක් මත තීරණය කර ඇති බවත්, පවතින හදිසි තත්ත්වය යටතේ එය ප්‍රමාණවත් බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය. 

මෙම බලශක්ති අර්බුදය ශ්‍රී ලංකාව විසින් ඇති කරන ලද්දක් නොව, බාහිර ලෝකයේ සිදුවන යුද ගැටුම්වල ප්‍රතිඵලයක් බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. මැදපෙරදිග යුද්ධය කෙදිනක අවසන් වේදැයි එය ආරම්භ කළ පාර්ශවයන් පවා නොදන්නා බැවින්, නිශ්චිත පුරෝකථනයන් කිරීම අපහසු බවත්, එබැවින් ජාතික අර්බුදයක් ලෙස සලකා මෙයට මුහුණ දීමට සියලු දෙනාගේ සහය අවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

සභා ගර්භය අමතමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පෙන්වා දුන්නේ මෙවර අර්බුදය අතීතයේ පැවති ඩොලර් හිඟය නිසා ඇති වූ අර්බුදයට වඩා වෙනස් බවයි. වර්තමානයේ ඩොලර් සහ ලෝක වෙළඳපොළේ ඉන්ධන පවතින නමුත්, ගෝලීය සැපයුම් දාමයන් (Supply Chains) බිඳ වැටීම නිසා මෙම අවහිරතාව මතුව ඇති බව ඔහු අවධාරණය කළේය.