ආර්ථික
ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 0.76%කින් ඉහළට
image for ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 0.76%කින් ඉහළට

මෙරට ආර්ථිකටය ප්‍රකෘතිමත් වීම සහ පොලී අනුපාත පහත වැටීමත් සමඟ, මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ නව ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 16,039කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.

ඒ අනුව 2025 සැප්තැම්බර් මාසය අවසානයේ 2,117,378ක් ලෙස පැවති මුළු ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව, ඔක්තෝබර් මාසය අවසාන වන විට 2,133,417ක් දක්වා වාර්තා වී ඇත. මෙය එක් මාසයක් තුළ 0.76%ක වර්ධනයකි. 

මහ බැංකු දත්ත වලට අනුව, මෙම වසරේ පළමු මාස 10 තුළ ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 6.2%කින් හෙවත් 124,961කින් ඉහළ ගොස් තිබේ.

රටේ ආර්ථිකය යහපත් වීමත්, පොලී අනුපාත අඩුවීමත් සමග බැංකු මගින් ලබාදුන් විශේෂ දීමනා හේතුවෙන් 2024 වසරේදී අලුතින් ක්‍රෙඩිට් කාඩ්පත් 91,371ක් (4.8%ක වර්ධනයක්) භාවිතයට එක් විය.

මීට හේතුව ලෙස විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, රටේ ආර්ථිකය අපේක්ෂිත මට්ටමට වඩා වේගයෙන් යථා තත්ත්වයට පත්වීමත් සමඟ, පොලී අනුපාත අඩුවන කාලසීමාව තුළ බොහෝ බැංකු සුපිරි වෙළඳසැල් සහ අනෙකුත් වෙළෙන්දන් සමඟ එක්ව ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන තිබීමයි. 

මෙහි තවත් ප්‍රතිඵලයක් ලෙස 2023 වසරට වඩා වැඩි වශයෙන් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කිරීමට පාරිභෝගිකයින් පෙළඹී ඇති බව ඔවුහු පෙන්වා දෙති.

සමහර විශ්ලේෂකයින් පවසන්නේ පසුගිය වසරේ ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පැවති ඉහළ දඩ මුදල් (අධිභාර) හේතුවෙන් ඇතැම් පරිශීලකයින් සිය කාඩ්පත් අවලංගු කළ බවත්, එම පාරිභෝගිකයින්ම දැන් නැවතත් ක්‍රියාකාරී ලෙස කාඩ්පත් භාවිතා කරමින් සිටින බවත්ය.

කෙසේ වෙතත්, 2022 වසරේ රට බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මහ බැංකුව සිය මූල්‍ය ප්‍රතිපත්ති අනුපාත පෙර නොවූ විරූ ලෙස ඉහළ නැංවීමත් සමඟ, 2023 වසරේදී ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 1.8%කින් හෙවත් 39,991කින් පහත වැටී තිබුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස අධි උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුව 2022 අප්‍රේල් මාසයේදී පොලී අනුපාත තියුණු ලෙස ඉහළ නැංවූ අතර, 2023 ජූනි මාසයේ සිට අට වතාවක් ප්‍රතිපත්තිමය පොලී අනුපාත අඩු කිරීමත් සමඟ උද්ධමනය ක්‍රමයෙන් පහත වැටුණි.