එහි සදහන් පරිදි 2026 සඳහා අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 5.1%ක් ලෙස මීට පෙර ඇස්තමේන්තු කර තිබුණද, මේ වන විට එය 6.5% දක්වා ඉහළ නංවා ඇත. මෙය 2025 වසර සඳහා පුරෝකථනය කරන ලද 4.5%ක හිඟයට වඩා තත්ත්වය තවත් අයහපත් වීමකි.
එමෙන්ම, 2026 සඳහා මූලික අතිරික්ත පුරෝකථනය මීට පෙර ඇස්තමේන්තු කළ 2.5% සිට 1% දක්වා අඩු කර ඇති අතර, එය 2025 වසරේ වාර්තා වූ 3.8%ක අතිරික්තයට වඩා බෙහෙවින් අඩු අගයකි.
මෙම සංශෝධන අනාවරණය කර ඇත්තේ පරිපූරක වියදම් ප්‍රතිපාදන සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමෙන් අනතුරුව, 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකය.
මූල්‍ය වාර්තාවලට අනුව, 2026 වසර සඳහා රජයේ මුළු ආදායම සහ ප්‍රදාන (grants), දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 15.4%ක මට්ටමක නොවෙනස්ව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය 2025 වසරේ වාර්තා වූ 15.9%ක අගයට වඩා සුළු අඩුවීමකි.
කෙසේ වෙතත්, 2026 සඳහා වන මුළු වියදම මීට පෙර ඇස්තමේන්තු කළ 20.5% සිට 21.9% දක්වා ඉහළ ගොස් ඇත.
තව ද, 2026 සඳහා පුනරාවර්තන වියදම් 16.5% සිට 16.9% දක්වා සංශෝධනය කර ඇතත්, එය 2024 (17.9%) සහ 2025 (17.3%) යන වසරවලට වඩා අඩු මට්ටමක පවතී.
වඩාත්ම කැපී පෙනෙන වෙනස සිදුව ඇත්තේ ප්‍රාග්ධන වියදම්වල වන අතර, එය මුල් ඇස්තමේන්තුව වූ 4% සිට 5% දක්වා ඉහළ ගොස් ඇත. මෙය 2024 දී 2.6%ක් සහ 2025 දී 3.2%ක් ලෙස පැවති අගයන් සමඟ සැසඳීමේදී සැලකිය යුතු වර්ධනයකි.
කෙසේ වෙතත් මෙහි කෙටි කාලීන පසුබෑමක් පැවතියද, මධ්‍යකාලීනව ක්‍රමයෙන් මූල්‍ය ඒකාබද්ධතාවයක් ඇති වනු ඇතැයි මුදල් අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
වැඩිදුරටත් අයවැය හිඟය 2026 දී පවතින 6.5% සිට 2030 වන විට 3.8% දක්වා අඩු වනු ඇතැයිද, මූලික අතිරික්තය එම කාලය තුළම 1% සිට 2.6% දක්වා යථා තත්ත්වයට පත් වනු ඇතැයිද පුරෝකථනය කර ඇත.
එමෙන්ම බදු ආදායම 2030 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 14.4% දක්වා සුළු වශයෙන් වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන අතර, පුනරාවර්තන වියදම් 2026 දී පවතින 16.9% සිට 2030 වන විට 15.2% දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ, දිත්වා කුණාටුවට අදාළ අතිරේක මූල්‍ය අවශ්‍යතා, රජයේ පවතින රුපියල් ට්‍රිලියන 2කට ආසන්න මුදල් සංචිත (Cash buffers) මගින් සපුරා ගන්නා බවයි.
ඒ අනුව, 2026 අයවැය මගින් ප්‍රකාශයට පත් කරන ලද රුපියල් ට්‍රිලියන 3.74ක ණය සීමාව නොවෙනස්ව පවතිනු ඇතැයි මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි.
මේ අතර දිත්වා සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත ආර්ථික හානිය හමුවේ රජය සිය මූල්‍ය සැලසුම් නැවත සකස් කරමින් සිටින අතර, 2025 වසරේ අපේක්ෂිත මූලික අතිරික්තය සහ 2026 අයවැයෙන් හඳුන්වා දුන් නව ආදායම් මාර්ග හරහා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට රජය සැලසුම් කරයි.
තව ද, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) වැනි ආයතන වලට අනුව මෙම ආපදා අවදානම ඩොලර් බිලියන 4.1 සිට 15 දක්වා ඉහළ අගයක් ගත හැකි අතර, ගෙවුම් ශේෂයේද ඩොලර් මිලියන 700ක අතිරේක හිඟයක් ඇති වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම තත්ත්වය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඩොලර් මිලියන 206ක හදිසි මූල්‍ය ආධාරයක් අනුමත කර ඇති අතර, ණය තිරසාරභාවය රැකගැනීම සඳහා දැඩි මූල්‍ය විනයක් අත්‍යවශ්‍ය බව අවධාරණය කරයි.
ඒ සමඟම, පස්වන සමාලෝචනය ඇගයීම සඳහා IMF කණ්ඩායමක් 2026 මුලදී මෙරටට පැමිණීමට නියමිතය.
කෙසේ වෙතත්, පවතින මෙම ආපදා තත්ත්වය මධ්‍යයේ වුවද, සහන කටයුතු කාර්යක්ෂමව සිදු කරමින් සිය අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකා බලධාරීන් කැපවී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය වාර්තාව මගින් වැඩිදුරටත් අවධාරණය කරයි.