මෙම ඓතිහාසික 2,333,797 වැනි සංචාරකයන් ලෙස ඉන්දියාවේ තිරුවානන්තපුරම් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 162 දරන යානයෙන් මෙරටට පැමිණි මහාචාර්ය ෆීලික්ස් බෙස්ලින් පෙරේරා, රීනා ප්‍රනාන්දු සහ ඈන් ක්‍රිස්ටිනා පෙරේරා යන පවුලේ සාමාජිකයන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ශ්‍රී ලංකා සංචාරක නිලධාරීන් මෙය හැඳින්වූයේ එම පවුලට පුද්ගලික සැමරුමක් මෙන්ම සමස්ත ජාතියක් ලෙස ලැබූ සාමූහික ජයග්‍රහණයක් ලෙසයි.
මෙම ජයග්‍රහණය මෙරට සංචාරක ක්ෂේත්රය ලද තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වන අතර, එමඟින් දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසය සහ වර්ධනය මනාව පිළිබිඹු වේ.
තව ද, විවිධ අර්බුද හමුවේ වුවද 2024 වසරේදී සංචාරකයන් 2,053,465ක් පැමිණ තිබූ අතර, 2025 දී එම වාර්තා අභිබවා යාම ක්ෂේත්රයේ ප්‍රබල පුනර්ජීවනයක් පෙන්නුම් කරයි.
මෙම ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳව බලධාරීන් පළ කළ අදහස් මෙසේ ය.
“මෙම සන්ධිස්ථානය හුදු ඉලක්කමක් පමණක් නොව, එය ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාවේ සංකේතයකි. 2018 වාර්තාව අභිබවා යාමෙන් ඔප්පු වන්නේ සියලු පාර්ශවකරුවන්ගේ කැපවීම සහ ලොව පුරා සංචාරකයින් අප කෙරෙහි තැබූ විශ්වාසය නිසා අපේ සංචාරක කර්මාන්තය වෙන කවරදාටත් වඩා ශක්තිමත් වී ඇති බවයි.” – සංචාරක අමාත්‍ය විජිත හේරත්
“සංචාරක ව්‍යාපාරය රටේ ආර්ථිකයේ සහ සංස්කෘතියේ ජීවනාලියයි. හෝටල් හිමියන්, මඟපෙන්වන්නන් සහ අනෙකුත් සංගම් පෙන්වූ එක්සත්භාවය නිසා අභියෝග හමුවේ වුවද තිරසාර අනාගතයක් ගොඩනැගීමට අපට හැකි වුණා.” – සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ
“මෙම ජයග්‍රහණය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සමස්ත සංචාරක පද්ධතියටම අයත් වන්නක්. ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය නැවත ගොඩනැගීමට දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ඉටුකළ මෙහෙවර ද මෙහිදී අගය කළ යුතුයි.” – සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම්
මෙම වසරේදී දිත්වා සුළි කුණාටුව හේතුවෙන් සංචාරක කටයුතු හා ජන ජීවිතයට එල්ල වූ බාධා මධ්‍යයේ වුවද මෙම වාර්තාව පිහිටුවීමට හැකි වීම ක්ෂේත්රයේ ඔරොත්තු දීමේ සහ අනුවර්තනය වීමේ හැකියාව මැනවින් පැහැදිලි කරන බව ඔවුහු වැඩිදුරටත් අදහස් දක්වමින් අවධාරණය කළහ.
එසේම හෝටල් හිමියන්, සංචාරක නියෝජිතයන්, ගුවන් සමාගම් සහ ඩිජිටල් මාධ්‍ය ජාලයන්හි සම්බන්ධීකරණ ප්රයත්නයන් මෙන්ම ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලොවට ගෙන ගිය දේශීය හා විදේශීය සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ (Influencers) දායකත්වය ද ශ්‍රී ලංකා සංචාරක අංශයේ ඇගයීමට ලක්විය.
ඉදිරිය දෙස බලන විට, බලධාරීන්ගේ අවධානය යොමු වී ඇත්තේ මෙම වර්ධනය තිරසාරව පවත්වා ගැනීමටත්, සංචාරක ව්‍යාපාරයේ ප්රතිලාභ ග්‍රාමීය ප්‍රජාවන් වෙත ගලා යාමට සැලැස්වීමටත් ය.
මෙම වාර්තාගත සංචාරක පැමිණීම, ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධාන මෙවලමක් ලෙස සංචාරක ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කිරීමේ ඇරඹුමක් වනු ඇත.