ආර්ථික
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025 ඉලක්කය ඉක්මවීමට සූදානම්
image for දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025 ඉලක්කය ඉක්මවීමට සූදානම්

ශ්‍රී ලංකාවේ සමස්ත, ආදායම් එකතු කිරීමේ මූලික වගකීම පැවරී ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවටයි (IRD).

මෙහි බදු ගෙවන්නන්ගේ විශ්වාසය වැඩි වීම හේතුවෙන්, මේ වසරේ සිය වාර්ෂික ආදායම් ඉලක්කය ඉක්මවා යනු ඇතැයි නියෝජ්‍ය මුදල් හා සැලසුම් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසුවේ ය.

නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීම සිදු කළේ, නව සහකාර කොමසාරිස්වරුන් 100 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා දෙසැම්බර් 15 සඳුදා දින පැවති උත්සවයකට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

“….. මින් පෙර බදු මුදල් අවභාවිතා කළ අත්දැකීම් හේතුවෙන් ජනතාවගේ විශ්වාසය නැවත දිනා ගැනීම පහසු නැහැ,” යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

එමෙන්ම 2021 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.5%ක් දක්වා පහත වැටුණු බදු ප්‍රතිශතය, මෙම වසර අවසන් වන විට 16% දක්වා ළඟා වනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි.

මෙම උත්සවයේදී අදහස් දැක්වූ නියෝජ්‍ය ආර්ථික සංවර්ධන අමාත්‍ය නිශාන්ත ජයවීර පැවසුවේ 2025 වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,195 ක් බවයි. 

එසේම එම ඉලක්කයෙන් අභිබවායෑමට ඔවුන්ට හැකි වේ යැයි ඔහු විශ්වාසය පළ කළේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අතිරේක ආදායමක් ලෙස රුපියල් බිලියන 50 ක් උපයා ගැනීමට හැකි වනු ඇති බවත්, එය මෑත ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ආදායම බවට පත් වනු ඇති බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය..