ආර්ථික
‘දිත්වා’ හේතුවෙන් හානි වූ කර්මාන්ත සංඛ්‍යාව 3,200 ඉක්මවයි!
image for ‘දිත්වා’ හේතුවෙන් හානි වූ කර්මාන්ත සංඛ්‍යාව 3,200 ඉක්මවයි!

‘දිත්වා’ හේතුවෙන් මේ වන විට කර්මාන්ත කාණ්ඩ සියල්ලෙහිම කර්මාන්ත 3,200කට අධික සංඛ්‍යාවක් හානි වාර්තා කර ඇති බව කර්මාන්ත අමාත්‍යාංශය විසින් සම්පාදනය කරන ලද මූලික දත්තවල දැක්වේ.

එනමුත් තක්සේරු කිරීම් දිගටම සිදුවන බැවින් මෙම සංඛ්‍යා වෙනස්වීම්වලට යටත් බව අමාත්‍යාංශය අවධාරණය කරයි.

දැනට කර්මාන්ත කාණ්ඩ අනුව වාර්තා වී ඇති අලාභ සංඛ්‍යා පහත පරිදි වේ.

  • මහා පරිමාණ කර්මාන්ත: 138 ක්
  • මධ්‍යම පරිමාණ කර්මාන්ත: 718 ක්
  • සුළු පරිමාණ කර්මාන්ත: 1,134 ක්
  • ක්ෂුද්‍ර පරිමාණ කර්මාන්ත: 1,009 ක්
  • අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත: 285 ක්

එසේම, හානියට පත් ව්‍යාපාර වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව අමාත්‍යාංශය පවසයි. 

තව ද මෙම සංඛ්‍යා, කර්මාන්ත අමාත්‍යාංශයේ දත්ත පද්ධතියට මේ දක්වා ඇතුළත් කර ඇති තොරතුරු පමණක් පිළිබිඹු කරයි.

එසේම සිදු වූ සම්පූර්ණ බලපෑම මෙයට තවමත් ඇතුළත් වී නොමැති බව නිලධාරීන් සඳහන් කළේ ය.

කෙසේ වුව ද, රජයේ පුළුල් ආර්ථික පුනරුත්ථාපන වැඩසටහනේ කොටසක් ලෙස, විපතට පත් එක් එක් කර්මාන්තයට මූලික මට්ටමේ ක්‍රියාකාරිත්වයක් යථා තත්ත්වයට පත් කිරීමට උපකාර කිරීම සඳහා රු. 200,000ක ආධාර මුදලක් ලබා දෙනු ඇත.

මෙම සහයෝගය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය හෝ අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, සුළු ව්‍යවසාය සංවර්ධන අංශය, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය, ජාතික ශිල්ප කවුන්සිලය සහ ජාතික නිර්මාණ මධ්‍යස්ථානය ඇතුළු අනුබද්ධ ආයතනවල ලියාපදිංචි වී සිටින කාර්මිකයන් සඳහා පමණක් ලබා ගත හැකි ය.

කර්මාන්ත අලාභ වාර්තා කිරීමේ මාර්ගෝපදේශය

  • වාර්තා කිරීමේ මාර්ගගත ක්‍රමවේද: 
    1. 1.

http://www.industry.gov.lk

    1. 2.

https://aid.floodsupport.org/business-impact

  • සෘජු සහය ලබා ගැනීම: අවශ්‍ය දත්ත දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත ව්‍යවසායකත්ව සංවර්ධන නිලධාරීන්, සුළු ව්‍යාපාර සංවර්ධන නිලධාරීන්, අපනයන සංවර්ධන නිලධාරීන් සහ ඵලදායිතා ප්‍රවර්ධන නිලධාරීන් හරහා ඉදිරිපත් කළ හැකිය.
  • ක්ෂණික දුරකථන අංකය:  071 266 6660 
  • වාර්තා කිරීමේ අවසන් දිනය: දෙසැම්බර් 16 වන දින ප.ව. 2ට පෙර 

මෙම තොරතුරු සහන කටයුතු සම්බන්ධීකරණය කිරීමට සහ බලපෑමට ලක් වූ කර්මාන්ත නැවත ගොඩනැගීම සඳහා පසු විපරම් සහ සහබන සම්බන්ධීකරණය සඳහා භාවිතා කරන බව අමාත්‍යාංශය පැවසීය.