ආර්ථික
විපතට පත්වූවන්ට බැංකු වලින් ණය සහන
image for විපතට පත්වූවන්ට බැංකු වලින් ණය සහන

සුළි කුණාටුව ආශ්‍රිත විපත් හේතුවෙන් ආදායමට සෘජුවම බලපෑම් එල්ල වූ පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට සහන සැලසීම සඳහා, බලපත්‍රලාභී සියලුම බැංකුවලට සහන මාලාවක් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) උපදෙස් දී ඇත.

මෙම උපදෙස්, දෙසැම්බර් 5වන දින නිකුත් කරන ලද 2025 අංක 04 දරණ චක්‍රලේඛය මඟින් නිකුත් කර ඇත. 

එය ශ්‍රී ලංකා බැංකු සංගමයේ යෝජනාවලට අනුකූලව, මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවට හානියක් නොවන පරිදි ණය ගැතියන්ට සහාය වීම අරමුණු කරයි.

CBSL දත්ත අනුව, මෙම වසරේ මුල් මාස නවය තුළ පුද්ගලික අංශයට ණය සැපයීම රුපියල් ට්‍රිලියන 1.36කින් ඉහළ ගොස් ඇති අතර එය 22.1%ක වර්ධනයකි. 

විශේෂයෙන්ම, පසුගිය මාස හතර තුළ (ජුනි සිට සැප්තැම්බර් දක්වා) පුද්ගලික අංශයේ ණය ගැනීම්වල මාසික සාමාන්‍යය, රුපියල් බිලියන 200 ඉක්මවී තිබේ.

මේ අතර පහත දැක්වෙන්නේ, බලපෑමට ලක් වූ ණය ගැතියන් සඳහා වන සහන ලබා ගැනීමේ සහ නව ණය අයදුම් කිරීමේ ප්‍රධාන පියවරයන් ය.

  1. බලපෑමට ලක් වූ ණය ගැතියන් විසින් 2026 ජනවාරි 15 ​​ට පෙර ලිඛිත හෝ විද්‍යුත් ඉල්ලීමක් බැංකුවට ඉදිරිපත් කළ යුතුය.
  2. බැංකු විසින්, තනි තනිව සලකා බැලීම මත, පවතින ණයවල ප්‍රාග්ධනය සහ පොලිය ආපසු ගෙවීම මාස 3 ත් 6 ත් අතර කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවිය යුතුය.
  3. අත්හිටුවීමේ කාලය තුළ, අදාළ ගිවිසුම්ගත පොලී අනුපාතයට වඩා වැඩි පොලියක් අය නොකළ යුතුය.
  4. කල් දැමූ පොලී ගෙවීම් සඳහා කිසිදු පොලියක් අය නොකළ යුතුය.

කෙසේ වෙතත්, පීඩාවට පත් වූ පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට නව ණය පහසුකම් ලබා දීමට බැංකු බැඳී සිටී. 

මෙම ණය දීමට පෙර ආපසු ගෙවීමේ හැකියාව බැංකුව විසින් තක්සේරු කරනු ලැබේ.

එසේම නව ණය සඳහා අමතර සහන කාලයක් ලැබේ. මෙම නව ණය ගෙවීම් ආරම්භ වන්නේ පැරණි ණය අත්හිටුවූ කාලය අවසන් වී, ඊට පසු අවම වශයෙන් තවත් මාස තුනකට පසුවය.

මෙහිදී, වසර දෙකක් දක්වා වන නව ණය සඳහා උපරිම පොලී අනුපාතය 9%කට හෝ ඊට වඩා අඩු ගිවිසුම්ගත පොලියකට සීමා කර ඇත. 

තව ද, වසර දෙකකට පසු දිගු කාලීන ණයවල පොලිය තීරණය වන්නේ බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය හා සබැඳි අනුපාතිකයකට වේ.

කෙසේ වෙතත් 2026 ජනවාරි 31 දක්වා, බැංකු මඟින් චෙක්පත් අගරු වීමේ ගාස්තු, ගෙවීම් නැවැත්වීම සඳහා වන ගාස්තු, ණය ප්‍රතිවුහගත කිරීමේ/ ප්‍රති ලේඛනගත කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු සහ දඩ පොලිය අයකිරීම යන සියලුම ගාස්තු අත්හිටුවිය යුතුය. 

එවැනි ගාස්තු ස්වයංක්‍රීයව ජනනය වන අවස්ථාවලදී, බැංකු විසින් ව්‍යාපාරික දින තුනක් ඇතුළත අදාළ ගිණුම්වලට එම මුදල් ආපසු ගෙවිය යුතුය.

තව දුරටත්, CBSL හි උපදෙස් අනුව, බැංකු විසින්:

  • ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සියලුම කොන්දේසි (ප්‍රාග්ධනය, පොලී, ගාස්තු ඇතුළුව) පැහැදිලිව ණය ගැතියාට සන්නිවේදනය කළ යුතු අතර, ලිඛිත හෝ විද්‍යුත් කැමැත්ත ලබා ගත යුතුය.
  • සහන ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළහොත්, ලිඛිත හේතු ලබා දිය යුතු අතර, CBSL හි මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුවට අභියාචනා කිරීමේ අයිතිය ගැන දැනුම් දිය යුතුය.
  • අහිතකර CRIB වාර්තා මත පමණක් නව ණය අයදුම්පත් ප්‍රතික්ෂේප නොකළ යුතුය.
  • මෙම සහන පියවර, ජීවනෝපාය යථා තත්ත්වයට පත් කිරීමට රජය දෙන සහනවලට අමතරව භාවිතා කළ හැකිය.