ආර්ථික
රජයෙන් පිරමීඩ යෝජනාවලට අනතුරු ඇගවීම්!
image for රජයෙන් පිරමීඩ යෝජනාවලට අනතුරු ඇගවීම්!

ශ්‍රී ලංකාවේ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) විසින් ලියාපදිංචි ආයෝජන උපදේශකයෙකු හෝ බලපත්‍රලත් ආයතනයක් නොවී අන්තර්ජාලය හරහා ආයෝජන නිර්දේශ කරන පුද්ගලයින්ට අනතුරු අඟවා ඇත.

ඒ අනුව  SEC මගින්,

  • ආයෝජන උපදෙස් දීමට පෙර SEC විසින් ලියාපදිංචි වීම හෝ බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය බවත්
  • මෙම අවශ්‍යතාවය කඩකරන පුද්ගලයන්ට හෝ කණ්ඩායම්වලට එරෙහිව SEC දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්
  • SEC පනත උල්ලංඝනය කරන ඕනෑම පුද්ගලයෙකු මහධිකරණය හමුවේ නඩු පවරනු ලබන බවත්, වරදකරු වුවහොත්, රුපියල් මිලියන 10කට නොඅඩු දඩයකට හෝ වසර දහයකට නොවැඩි සිරදඬුවමකට හෝ දෙකටම යටත් වීමට සිදු වන බවටත් අවධාරණය කර ඇත. 

ආයෝජකයින්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා මෙම නවතම ක්‍රියාමාර්ග සැලසුම් කර ඇති බව SEC තවදුරටත් සදහන් කරයි. 

මෙම ජාවාරම් පිලිබද නොදැනුවත් ආයෝජකයින්, අනවසර කොටස් යෝජනා සහ ආයෝජන උපදෙස් බෙදාහරින, සමාජ මාධ්‍යවල සිටින වංචනික උපදේශකයන්ගේ උගුල්වලට හසු වේ.

එබැවින් SMS, WhatsApp, Facebook, YouTube සහ වෙනත් මාධ්‍ය ජාලා හරහා එවනු ලැබෙන අනවසර උපදෙස් මත විශ්වාසය තැබීමෙන් වළකින ලෙස SEC විසින් පැහැදිලිවම අනතුරු අඟවා ඇත. 

මන්දයත්, විටෙක ඒවා නොමඟ යවන සුළු හෝ හසුරුවන සුළු විය හැකි අතර, තවත් විටෙක වෙළඳපොළ හැසිරවීමක් ද විය හැකි බැවිනි.

මෙම ප්‍රවර්ධකයින් බොහෝ විට මිනිසුන්ගේ මූල්‍ය අසරණභාවය, නියාමන අවබෝධය නොමැතිකම සහ සමාජ මාධ්‍ය හරහා ලැබෙන ව්‍යාජ විශ්වාසනීය පෙනුම උපයෝගී කරගනිමින්, ඔවුන් අධි-අවදානම් සහිත හෝ සම්පූර්ණයෙන්ම වංචනික යෝජනා ක්‍රමවලට බඳවා ගනී.

එහි ප්‍රතිඵලය වී ඇත්තේ බොහෝ දෙනෙකුට මූල්‍යමය පාඩුවක් පමණක් නොව, නීත්‍යානුකූල ප්‍රාග්ධන වෙළඳපොළවල් කෙරෙහි තබා ඇති විශ්වාසයද පුළුල් ලෙස ඛාදනය වීමයි.

මේ අතර, මහ බැංකුවව අන්තර්ජාල පිරමීඩ යෝජනා ක්‍රමයක් වන  “SGO/sgomine.com” පිළිබඳව මහජනතාවට අනතුරු අඟවා ඇත.

මෙහිදී මහ බැංකුව විසින් සිදු කළ පරීක්ෂණවලින් පසුව එම ආයතනය, තහනම් කළ යෝජනා ක්‍රමයක නිරත වී ඇති බවත්, එය පවත්වාගෙන ගොස් ඇති බවත්, ප්‍රවර්ධනය කර ඇති බවත් තහවුරු කරගෙන ඇත.

ශ්‍රී ලංකාව තුළ, බැංකුකරණ පනත යටතේ පිරමීඩ යෝජනා ක්‍රම තහනම් කර ඇති අතර, එවැනි යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම පමණක් නොව, ඒවා ප්‍රවර්ධනය කිරීම හෝ ඒවාට මුදල් සැපයීම ද අපරාධයකි.

එසේ වුවද, නීත්‍යානුකූල ආයෝජන මධ්‍යස්ථාන ලෙස වෙස්වලාගෙන, පිරමීඩ (Pyramid) හෝ පොන්සි (Ponzi)  යෝජනා ක්‍රම ලෙස ක්‍රියාත්මක වන ආයතන පිළිබඳව මහ බැංකුවට නැවත නැවතත් මහජනතාවට අනතුරු ඇඟවීමට සිදුවී ඇත.

මෙම යෝජනා ක්‍රම බොහෝ විට සැබෑ ව්‍යාපාර ක්‍රියාකාරකම්වලට වඩා කොටස්, ගුප්තකේතන මුදල් (cryptocurrencies) හෝ වෙනත් ක්‍රමවේද හරහා “වෙළඳාම් කිරීම” මගින් ඉක්මන්, ඉහළ ප්‍රතිලාභ පොරොන්දු වෙමින් මිනිසුන් පොළඹවා ගනී.

මේ හේතුවෙන්, ජනතාවගේ දැනුම්වත්භාවය පිණිස, තහනම් කළ යෝජනා ක්‍රම බෙදා හරින සමාගම් 22ක් මහ බැංකුව විසින් නම් කර තිබේ.

  • ටියන්ස් ලංකා හෙල්ත් කෙයාර් (පුද්) සමාගම
  • බෙස්ට් ලයිෆ් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම
  • මාක් – වෝ ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම
  • වී එම් එල් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම
  • ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා (පුද්) සමාගම
  • ෆාස්ට් 3 සයිකල් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම
  • ස්පෝර්ට් චේන් ඇප්, ස්පෝර්ට් චේන් ඉසෙඩ්එස් සොසයිටි ශ්‍රී ලංකා
  • ඔන්මැක්ස්ඩීටී (OnmaxDT)
  • එම්ටීඑෆ්ඊ ඇප්, එම්ටීඑෆ්ඊ එස්එල් ගෲප්, එම්ටීඑෆ්ඊ සක්සස් ලංකා, එම්ටීඑෆ්ඊ ඩීඑස්සීසී ගෲප්
  • ෆාස්ට්වින් (පුද්) සමාගම
  • ෆෲගෝ ඔන්ලයින් ඇප්/ ෆෲගෝ ඔන්ලයින් (පුද්) සමාගම
  • රයිඩ් ටු ත්‍රී ෆ්‍රීඩම් (පුද්) සමාගම
  • Qnet/ Questnet
  • ඊරා මිරකල් (පුද්) සමාගම සහ ජෙනසිස් බිස්නස් ස්කූල්
  • ලෙජර් බ්ලොක්
  • ඉසිමාගා ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම
  • බීකොයින් ඇප් සහ සන්බර්ඩ් පදනම
  • වින්ඩෙක්ස් ට්‍රේඩිං
  • ද එන්රිච් ලයිෆ් (පුද්) සමාගම
  • ස්මාර්ට් වින් එන්ටර්ප්‍රිනියර් (පුද්) සමාගම
  • නෙට් ෆෝර් ඉන්ටර්නැෂනල් (පුද්) සමාගම/ නෙට්‍රික්ස්
  • ප්‍රෝ කෙයාර් (පුද්) සමාගම, ෂේඩ් ඔෆ් ප්‍රෝකෙයාර් (පුද්) සමාගම