ආර්ථික
රාජ්‍ය ණය කළමනාකරණ රෙගුලාසි පාර්ලිමේන්තුවට!
image for රාජ්‍ය ණය කළමනාකරණ රෙගුලාසි පාර්ලිමේන්තුවට!

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කළ රාජ්‍ය ණය කළමනාකරණ රෙගුලාසි අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනාවට කැබිනට් අමාත්‍ය මණ්ඩලය තම අනුමතිය ලබා දී ඇත.

ඒ අනුව මෙසේ කැබිනට් අනුමැතිය හිමිවී ඇත්තේ පසුගිය මාසයේ ප්‍රකාශයට පත් කරන ලද රාජ්‍ය ණය කළමනාකරණ රෙගුලාසි පිළිබඳ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි.

එහි අරමුණු :

  • රජයේ සුරැකුම්පත් නිකුත් කිරීමේදී ප්‍රාථමික වෙළෙන්දන් සහ බැංකු නොවන ලංසුකරුවන් සමඟ සෘජුව ගනුදෙනු කිරීමට PDMO බල ගැන්වීම
  • ප්‍රාථමික වෙළෙන්දන්ගේ කාර්යාලයේ (Primary Dealers’ Office) කාර්ය සාධනය සහතික කිරීම 
  • රජයේ සුරැකුම්පත් නිකුත් කිරීමේදී ප්‍රාථමික වෙළෙන්දන් සඳහා මෙහෙයුම් මාර්ගෝපදේශ සඳහා උපදෙස් නිකුත් කිරීම

මොකක්ද මේ PDMO?  : 2024 ජනවාරි මාසයේදී  මුදල් අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (Public Debt Management Office – PDMO) ස්ථාපිත කරන ලද අතර, රාජ්‍ය ණය කළමනාකරණ පනත හරහා ඒවා විධිමත් ලෙස ක්‍රියාත්මක විය.

ඒ අනුව මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව, බාහිර සම්පත් දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාරය වෙත පැවරී තිබූ සමහර කාර්යභාරයන් PDMO විසින් ආවරණය කරනු ඇත. 

PDMO පිහිටුවීමේ අරමුණු : 

  1. ප්‍රතිපත්ති ගැටුම් ඉවත් කිරීම
  2. විනිවිදභාවය වැඩි දියුණු කිරීම 
  3. විවිධ ඉලක්ක සමඟ මධ්‍ය කාලීන ණය උපායමාර්ග පෙළගැස්වීම

මෙම ඉලක්ක අතරට 2032 වන විට දළ දේශීය නිෂ්පාදිතයට (GDP) සාපේක්ෂව මධ්‍යම රජයේ ණය 95%ට වඩා අඩු කිරීම සහ දළ මූල්‍ය අවශ්‍යතා දළ දේශීය නිෂ්පාදිතයෙන් 13%ට වඩා අඩු මට්ටමක තබා ගැනීම ද ඇතුළත් වේ.

“රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය සවිබල ගැන්වීම සඳහා ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි අනුමැතිය ලබා දී තිබෙන්නේ” යනුවෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ ය.

PDMOහි වගකීම් : 

  • වාර්ෂික ණය ගැනීමේ සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම
  • ලබාගත් ණයවල තිරසාර බව සහතික කිරීම
  • අවදානම් මට්ටම් පවත්වා ගනිමින් ණය ගැනීමේ පිරිවැය අවම කිරීම 
  • ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා පැවැත්වීම
  • දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම
  • රජයේ මුදල් ප්‍රවාහ අවශ්‍යතා කළමනාකරණය කිරීම 
  • තනි, බලයලත් රාජ්‍ය ණය දත්ත ගබඩාවක් පවත්වාගෙන යාම