ආර්ථික
වතු කම්කරුවන්ට සාධාරණ වැටුප් ලබා දෙන බවට අගමැතිනියගෙන් ප්‍රතිඥා !
image for වතු කම්කරුවන්ට සාධාරණ වැටුප් ලබා දෙන බවට අගමැතිනියගෙන් ප්‍රතිඥා !

වත්මන් ආණ්ඩුව තේ කර්මාන්තය තුළ සමාජ සාධාරණත්වය සහ තිරසාරභාවය සහතික කිරීමට කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (10) දින අවධාරණය කළා ය.

එමෙන්ම 2030 වන විට මෙරට තුළ නිෂ්පාදනය කරන තේ කිලෝග්‍රෑම් මිලියන 400 දක්වා ඉහළ නැංවීමටත්, අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වා ඉහළ නැංවීමටත් ආණ්ඩුවට ඉලක්කයක් ඇති බව ද ඇය පැවසුවා ය.

මෙවර තේමාව : ‘Perfect Sip : Bridging Innovations, Sustainability and Lifestyles’ යන තේමාව යටතේ පැවැත්වෙන දෙදින සම්මේලනය, නවෝත්පාදන සහ සහයෝගීතාවය තුළින් අංශයේ අනාගතය සකස් කිරීම සඳහා විද්‍යාඥයින්, පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ගෝලීය තේ කර්මාන්ත නායකයින් එක් කිරීම ප්‍රමුඛ කරගෙන ඇත.

වතුකර හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

සියවසක ගමනක් : ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයට සියවසක් පිරීම හේතුවෙන් පැවති ජාත්‍යන්තර තේ සම්මේලනයේ (InTSym100) සමාරම්භක උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය තේ කර්මාන්තයේ ආර්ථික හා සංස්කෘතික වැදගත්කම අවධාරණය කළ අතර, මෙම කර්මාන්තය ජීවනෝපාය කරගෙන මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් මේ මත යැපෙන අතර, මෙරට කෘෂිකාර්මික අපනයනවලට ආසන්න වශයෙන් 10%ක දායකත්වයක් සපයන බව ද සඳහන් කළා ය.

ඒ අනුව තේ යනු මෙරට ආර්ථික භූමිකාවෙන් ඔබ්බට, සංස්කෘතියට සහ ප්‍රජාවන්ට ගැඹුරින් සම්බන්ධ වී ඇති දෙයක් ලෙස විද්‍යාඥයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ගෝලීය කර්මාන්ත නායකයින් අමතමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවා ය.

ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් 90%ක් පමණ රටවල් 140 කට අධික සංඛ්‍යාවකට අපනයනය කරන අතර, ‘සිලෝන් ටී’ (Ceylon Tea) සන්නාමය යටතේ ගුණාත්මකභාවය සහ සත්‍යතාව වෙනුවෙන් ගෝලීය පිළිගැනීමක් ඇති බව ඇය තවදුරටත් සඳහන් කළා ය.

කාන්තා නියෝජනය : අග්‍රාමාත්‍යවරිය තේ ක්ෂේත්‍රයේ ශ්‍රම බලකායෙන් 60%කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන කාන්තාවන්ගේ කාර්යභාරය පිළිබඳව ද අවධාරණය කළා ය.

“COVID-19 වසංගතය අතරතුර, අනෙක් අය නිවෙස්වලට වී සිටියදී මෙම කාන්තාවන් දිගින් දිගටම සේවය කළා. තවමත් බොහෝ දෙනෙකුට නිසි නිවාස, ළමා සුරැකුම් සහ ආරක්ෂිත සේවා තත්වයන් නැහැ.”

“ඒ අනුව ඔවුන්ගේ දායකත්වය හඳුනාගෙන, ඔවුන්ට සාධාරණ වැටුප්, අධ්‍යාපනය සහ දියුණුව සඳහා අවස්ථා ලැබිය යුතු ය.” 

වර්තමාන ආණ්ඩුවේ පුළුල් සමාජ සංවර්ධන න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස දිගු කලක් තිස්සේ ආන්තිකකරණයට ලක්ව සිටි වතු පවුල් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගියදා නිවාස ඔප්පු 2,000ක් භාර දුන් අතර, එමඟින් ඔවුන්ට දීර්ඝ කාලයක් තිස්සේ බලා සිටි දේපළ අයිතිය ලබා දුන් බව ඇය සඳහන් කළා ය.

ඒ අනුව අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළේ, 2026 අයවැය යටතේ 2026 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,750 දක්වා ඉහළ නැංවීමට ආණ්ඩුව යෝජනා කර ඇති බවයි.

මෙම දීමනාවට රුපියල් 1,550ක මූලික වැටුපක් සහ රුපියල් 200ක දෛනික පැමිණීමේ දීමනාවක් ඇතුළත් වේ. 

රටක කොඳු නාරටිය වන ජනතාවට සුභසාධනය සැලසීම සඳහා නවෝත්පාදන සහ පර්යේෂණ පෙළගස්වමින්, ශ්‍රී ලංකාවේ තේ ක්ෂේත්‍රය වඩාත් තිරසාර, තරඟකාරී එකක් කිරීම රජයේ දැක්ම බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවා ය.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය විසින් සංවර්ධනය කරන ලද ‘TRI 5000’ නම් නව තේ ප්‍රභේදයක් ද අග්‍රාමාත්‍යවරියට පිරිනමන ලදී.