ආර්ථික
තේ පොහොර සහනාධාරය QR කේත ක්‍රමයට!
image for තේ පොහොර සහනාධාරය QR කේත ක්‍රමයට!

රජයේ නිවේදනයකට අනුව, ඔක්තෝබර් 1 වන දා සිට කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන් සඳහා පොහොර සහනාධාරය QR කේත ක්‍රමයක් හරහා ලබා දීමට කටයුතු කරනු ඇත. 

ඒ අනුව බලධාරීන් විසින් නිකුත් කරන ලද QR කේතය ඉදිරිපත් කිරීමෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති රාජ්‍ය පොහොර සමාගම ඇතුළු පොහොර සමාගම්වල ප්‍රතිලාභීන්හට තේ පොහොර ලබා ගත හැකියි.

 

මෙම ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටියක් සඳහා රුපියල් 4,000 ක වට්ටමක් සහ කිලෝග්‍රෑම් 25 ක පොහොර මිටියක් සඳහා රුපියල් 2,000 ක වට්ටමක් හිමිවනු ඇත.

 

අරමුණ සහ ප්‍රතිපාදන : 2025 වසර සඳහා තේ ගොවීන්ට මෙම සහනාධාරය ලබා දීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් රුපියල් මිලියන 2,000 ක් වෙන් කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

ඒ අනුව මෙහි අරමුණ වන්නේ නව යාන්ත්‍රනයක් තුළින් 2030 වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වා වැඩි කිරීමයි.

 

රටේ තේ දළු නිෂ්පාදනයෙන් 75%ක් නිෂ්පාදනය කරන කුඩා තේ වතු හිමියන් ඉලක්ක කර ගනිමින් තේ කුඩා වතු සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් මෙම සහනාධාරය ඔවුනට ලබා දෙනු ඇත.