ආර්ථික
ජූලි මාසයේදී වාහන 35,000ක් ලියාපදිංචි කෙරේ
image for ජූලි මාසයේදී වාහන 35,000ක් ලියාපදිංචි කෙරේ

JB Securities සමාගම විසින් නිකුත් කරන ලද විශ්ලේෂණයකට අනුව 2025 වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කරන ලද වාහන ගණන 35,232ක් ලෙස සටහන් වී ඇති අතර, එය මෙම වසරේ ජූනි මාසය තුළ ලියාපදිංචි කරන ලද වාහන 22,340ට සාපේක්ෂව ඉහළ වර්ධනයක් පෙන්නුම් කරයි.

වාර්තාගත සන්ධිස්ථානයක් : 2020දී ශ්‍රී ලංකාව විදේශ විනිමය හිඟයකට මුහුණ දීමත් සමඟ, රට තුළ විශාල වශයෙන් ආනයන සීමා පනවමින්, වාහන ඇතුළු භාණ්ඩ වර්ග 3,000කට වඩා වැඩි ගණනක් මෙරටට ආනයනය කිරීම නවතා දමන ලදී. 

නමුත් එකී තහනම 2025 පෙබරවාරි මාසයේදී ඉවත් කිරීමත් සමඟ වාහන ලියාපදිංචි කිරීම් ශීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, යතුරුපැදි ලියාපදිංචි කිරීම ද දෙගුණයකින් වැඩිවී ඇති බව එම විශ්ලේෂණ වාර්තාවේ දැක්වේ.

මෙම වසරේ ජූනි මාසයේදී ලියාපදිංචි කළ යතුරුපැදි සංඛ්‍යාව 13,000ක් වූ අතර ජූලි මාසයේදී එය 26,171ක් දක්වා වැඩි වී ඇති බව එකී වාර්තාවේ දැක්වේ.

ඒ අනුව ඉන්ධන යතුරුපැදි ලියාපදිංචි කිරීම් අතරින් බජාජ් සන්නාමයේ යතුරුපැදි 39%ක් ද, TVS සන්නාමයට අයත් යතුරුපැදි 29%ක් ද ලියාපදිංචි කර ඇත. 

එමෙන්ම විදුලි යතුරුපැදි ලියාපදිංචි කිරීම් 3,802ක් වාර්තා වී ඇති අතර, ඒ අතුරින් Yadea සන්නාමයේ යතුරුපැදි  2,473ක් ලියාපදිංචි කර ඇති බව පෙනේ.

මෝටර් රථ සහ SUV රථ (crossovers) ලියාපදිංචිය ද විශාල වශයෙන් වර්ධනය වී ඇත. 

2025 වසරේ පෙබරවාරි මාසයේදී ලියාපදිංචි වී ඇති මෝටර් රථ සහ SUV රථ ගණන 51ක් වූ අතර, ජූලි මාසයේදී එය මෝටර් රථ 2,748ක් සහ SUV සංඛ්‍යාව 3,299ක් ලෙස සටහන් ව ඇත.

නමුත් ත්‍රීරෝද රථ වෙළඳපොළ තවමත් දැඩි පසුබෑමක් පෙන්වන අතර, ජූලි මාසයේ ලියාපදිංචි වූ ත්‍රීරෝද රථ සංඛ්‍යාව 454ක් පමණි. 

මෙය 2020ට පෙර කාලයේ මාසිකව ලියාපදිංචි වූ වාහන සංඛ්‍යාව වූ 1,800ට වඩා බොහෝ අඩුය.

නැවත යථාතත්වයට : විශ්ලේෂකයින්ගේ මතය නම්, මෙම අගයන් 2020ට පෙර වර්ෂයන්හිදී මෙරට සිදුකළ වාහන ලියාපදිංචි කිරීමේ අගයන්වලට සමාන බවයි.