දේශපාලන
පළාත් පාලන මැතිවරණයේදී මාලිමාවේ පැහැදිලි පසුබෑමක්
image for පළාත් පාලන මැතිවරණයේදී මාලිමාවේ පැහැදිලි පසුබෑමක්

වසර හතකට පසුව මෙවර පැවති පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය බහුතර පළාත් පාලන අ‍ායතන සංඛ්‍යාවක බලය තහවුරු කර ගත්තද ඔවුන් ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතයේ සැලකිය යුතු පසුබෑමක් දක්නට ලැබේ.

මෙවර ඔවුන් ලබාගෙන ඇති සමස්ත ඡන්ද ප්‍රතිශතය 43% ක් වන අතර මීට මාස හයකට පෙර පැවති මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය 61% ක සමස්ත ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් විය. 

බහුතර බලය අහිමියි: ශ්‍රී ලංකාවේ පවතින පළාත් පාලන ආයතන 339 න් 266 ක බලය ඔවුන් තහවුරු කරගෙන තිබේ. එහෙත් එම ආයතන අතරින් 120ක හැර අන් ආයතනවල බහුතර බලයක් ජාතික ජන බලවේගයට හිමිව නොමැති වීමද විශේෂත්වයකි.  පළාත් පාලන ආයතන 30 ක ආසන විපක්ෂය හා සම මට්ටමින් හිමිව ඇති අතර අනෙක් ආයතන 117 ක ඔවුන් ජයග්‍රහණය කර ඇති නමුත් එය සුළුතර ජයකි. ජාතික ජන බලවේගය දිනා ඇති සමස්ත සභික ආසන සංඛ්‍යාව 3, 926 කි. 

මැතිවරණ විශ්ලේෂකයින් සඳහන් කරන්නේ පාලනය  ලබාගෙන ගෙවුණු මාස හය තුළ පාලක පක්ෂය මෙවැනි පසුබෑමක ලක්වීමට මැතිවරණ ‍පොරොන්දු ඉටු කිරීමට අ‍පොහොමසත් වීම හා ඒවා ඉටු කිරීමට ඵලදායි පියවර නොගැනීම හේතු විය හැකි බවයි. 

එමෙන්ම ආර්ථිකය සංවර්ධනය කිරීමේ කාර්යයයේදී ව්‍යාපාරිකයින් හා ආයෝජකයින් අතර විශ්වාසයක් ගොඩ නැගීමට අපොහොසත්වීමද මෙම පසුබෑමට තවත් හේතුවක් බව ද විශ්ලේෂකයින් ගේ අදහසයි. 

ප්‍රතිශතයේ ඉහළ යාමක්: මෙවර පළාත් පාලන මැතිවරණයේදී තරගවැදි අනෙක් සියලු පක්ෂ අතරින් සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  සිය ඡන්ද ප්‍රතිශතය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නංවා ගැනීමටද සමත්ව සිටියි. 

ඒ අනුව සමගි ජන බලවේගය මහ මැතිවරණයේදී පැවති 17.6% ක පැවති ප්‍රතිශතය 21.7% දක්වා ඉහළ නංවා ගෙන තිබේ. ඔවුන් බලය තහවුරු කරගෙන ඇති පළාත් පාලන ආයතන සංඛ්‍යාව 13 කි. ආසන 1767ක් දිනා ගැනීමටද සමගි ජන බලවේගයට හැකියාව ලැබී ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  සිය 3.14% ක පැවති ඡන්ද ප්‍රතිශතය 9.17% ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත්ව තිබුනද ඔවුන්ට කිසිදු ආයතනයක බලය තහවුරු කර ගැනීමට අවස්ථාවක් ලැබී නැත. හිමිව ඇති ආසන සංඛ්‍යාව 742 කි. 

අනෙක් පක්ෂ: උතුරු හා නැගෙනහිර පළාත් පාලන ආයතන අතරින් බහුතරයක බලය තහවුරු කරගෙන ඇත්තේ ඉලංගෙයි තමිල් අරසු කච්චි වන අතර ඔවුන් එම ප්‍රදේශවල පවතින ආයතන 58 න් 43 ක බලය තහවුරු කරගෙන ඇත. 

ශ්‍රී ලංකා මුස්ලම් කොංග්‍රසය ආසන 116 ක් දිනා ගනිමින් පළාත් පාලන ආයතන 6 ක බලය තහවුරු කරගෙන තිබේ. පොදුජන එක්සත් පෙරමුණ ආසන 300 ක් ද එක්සත් ජාතික පක්ෂය ආසන 381 ක් ද දිනා ගැනීමට මෙවර සමත්ව ඇත. 

පළමුවරට පළාත් පාලන මැතිවරණයක් සඳහා තරග වැදි සර්ව ජන බලවේගය ද ආසන  226 ක් දිනා ගෙන ඇත.