ඒ මේ දිනවලදී ලොව පුරා පුවත් මවන නවතම මාතෘකාව වන ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් හදුන්වාදීමට නියමිත නව වෙළඳ ප්‍රතිපත්තිය හා එමගින් අනෙකුත් රටවල්වලට මෙන් ම ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම පිළිබද සිදුකල සාකච්ඡාවක් අතරතුරේදී ය.
ට්‍රම්ප් හා තීරුබදු : තීරුබදු යනු රජයක් ආනයනය කරන ලද හෝ අපනයනය කරන ලද භාණ්ඩ මත පනවන බදු වේ. ඒවා වෙළඳාම පාලනය කිරීමට, දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමට හෝ ආදායම් උත්පාදනය කිරීමට භාවිතා කරයි.
ඇමරිකාව විසින් මීට පෙර අනුගමනය කළ තීරුබදු ක්‍රමය අනෙක් රටවලට සහනදායි හා ලාබදායී වන අයුරින් සකස් කල එකක් බවත්, එහි පාඩුව අමෙරිකානු පුරවැසියන් විසින් දරා ඇති බවත්, තමා බලයට පැමිණි නිසා මෙම ක්‍රියාවලිය තවදුරටත් සිදුකරගෙන යාමට කිසිලෙසකින්වත් ඉඩ නොතබන බවටත් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට අනුව මෙක්සිකෝව, කැනඩාව, චීනය යන රටවල්වලින් ආනයනය කරන සියලු ම භාණ්ඩ සදහා දැනටමත් ප්‍රතිචාර තීරුබදු (reciprocal tariff) පැනවීමක් සිදුකර ඇති මුත්, එමගින් එම රටවල්වල ආර්ථිකයන් තුල විශාල පෙරලීම් මේවන තෙක් වාර්තා වී නොමැත.
සමහර පුවත්පත් වාර්තාකරුවන් මෙම තත්ත්වය 1920-30 දශකයේ ලෝකයේ පැවති මහා ආර්ථික අවපාතයට (The Great Depression) සමාන කිරීමට මෙන් ම, මෙම අර්බුදය දිගටම පැවතියහොත් ලෝකය තුල තීරුබදු යුද්ධයක් (tariff war) ඇතිවීමට ඉඩකඩ ඇතැයි පවසමින් කරන කතා සියල්ල අතිශයෝක්තියක් බව මහාචාර්ය අතුකෝරළ පෙන්වා දෙයි.
“තීරුබදු යනු එක් ප්‍රතිපත්ති උපකරණයක් විතරයි. තීරුබදුවලට කරන්න පුළුවන් මොකක්ද, කරන්න බැරි මොකක්ද කියලා තීරණය කරන සාධක රාශියක් තියනවා.“ යනුවෙන් සදහන් කළ මහාචාර්ය අතුකෝරළ එම තත්වය ප්‍රධාන කරුණු 3ක් යටතේ මෙසේ පැහැදිලි කළේ ය.
- ට්‍රම්ප් බොරුකාරයෙක්: ට්‍රම්ප් ‘tariff liar’ කෙනෙකු ලෙස හදුනාගත හැකි බවත්, ඔහු පොරොන්දු වූ කිසිවක් සිදුනොකරන බව ඔහුගේ ප්‍රථම ධුරකාලයේ හැසිරීම තුළින්ම ඔප්පු වී ඇති බව මහාචාර්යවරයා පැවසී ය.
ට්‍රම්ප් විසින් 2017 සිට 2021 දක්වා ඔහුගේ පළමු ජනාධිපති ධුරකාලය හෙබවූ අතර එම කාලවකවානුව තුලදී ඔහු දුන් මැතිවරණ පොරොන්දුවලින් බොහොමයක් ඉටුනොකළේ ය.
ඔහු පුන පුනා “චීනය අපට බිලියන ගණන් ගෙවමින් සිටියි” යනුවෙන් පැවසුවද, අවසානයේ දී ඇමරිකානු ආනයනකරුවන් සහ පාරිභෝගිකයින් විසින් බදු ගෙවීම සිදු කළ බව පමණක් පෙනී යයි.
එමෙන් ම ඔහු විසින් ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වූ තෝරාගත් භාණ්ඩ මත අයකෙරෙන තීරුබදු ප්‍රතිපත්තිය මාස 18ක් වැනි සුළු කාලයක් තුල ක්‍රියාවට නැංවී අහෝසි වී ගියේ ය.
ඒ අනුව මහාචාර්යවරයා පවසන්නේ ට්‍රම්ප් විසින් “Make America Great Again “ යනුවෙන් සදහන් කරමින් නැවත දේශපාලන කරලියට පැමිණිය ද, “Fear: Trump in the White House” යන කෘතියෙහි සදහන් පරිදි ට්‍රම්ප් යනු ස්ථාවර මතයක් නොමැති, නිරන්තරයෙන් පැති මාරු කරන පුද්ගලයෙකු බවයි.
- ඇමෙරිකාව තවදුරටත් ලොකු නෑ: 1970 ගණන් වලදී ජ්‍යාත්‍යන්තර වෙළදපොළ තුල ඇමෙරිකාව 50% කට ආසන්න ප්‍රමාණයක වෙළද ඒකාධිකාරයක් හිමිකරගෙන සිටි අතර අද වන විට එම තත්ත්වය වෙනස් වී 12%-13% ක පමණ සුළු කොටසකට හිමිකම් කියයි.
ඒ අනුව ඇමෙරිකාව භූමි ප්‍රමාණයෙන් ගත් කල විශාල රටක් වුවත්, ආර්ථිකමය වශයෙන් අන් රටවලට වඩා කුඩා වෙළදපොළක් වර්තමානයේ හිමි බව හාචාර්ය අතුකෝරළගේ මතයයි.
ලංකාවෙන් අපනයනය කරන ඇගළුම්, රබර්, තේ වැනි කර්මාන්ත හා කෘෂිකාර්මික නිෂ්පාදන මිලදී ගැනීමට ඇමෙරිකාව හැරුනු විට වෙනත් ජ්‍යාත්‍යන්තර ගැනුම්කරුවන් විශාල ප්‍රමාණයක් සිටින බවත්, මෙනිසා අනවශ්‍ය ලෙස කලබල නොවී ලංකාව තුළ ප්‍රමිතිසහගත වෙළදපොළක් නිර්මාණය කර ගැනීමට පමණක් අවධානය ලබාදිය යුතු බව මහාචාර්යවරයා තවදුරටත් සදහන් කරලී ය.
- ජාත්‍යන්තර වෙළද ක්රමයේ ව්‍යුහාත්මක වෙනස: වර්තමානයේදී කර්මාන්ත ආශ්රිත ව දැකගත හැකි නව ප්‍රවණතාවක් ලෙස අභ්‍යන්තර නිෂ්පාදන ක්‍රියාදාමය විභේදනයකට ලක්වීම හදුනාගත හැක.
නිෂ්පාදන විභේදනය (production fragmentation) යනු කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනයේදී අදියර කිහිපයකට බෙදා රටවල් කිහිපයක සහයෝගය ඇතිව එක් එක් රටට නියමිත වූ නිෂ්පාදන කොටස සිදු කරමින් භාණ්ඩය නිමකිරීම ය.
ඒ අනුව මුළු කාර්මික නිෂ්පාදන ක්‍රියාවලියෙන් 60%ක් පමණ මේ නිෂ්පාදන ගණයට යටත්වන අතර එක් රටක නොව රටවල් කිහිපයක සහයෝගය මත එක් භාණ්ඩයක් නිෂ්පාදනය වන නිසා, තනි රටකට යම් භාණ්ඩයක් පිළීබද තිබූ ස්වෛරීත්වය අඩුවී ගොස් නිෂ්පාදන ඒකාධිකාරය අහෝසි වී ඇති බව මහාචාර්ය අතුකෝරල පැවසී ය.
ලංකාවට ඇති බලපෑම: මෙකී හේතු ත්‍රිත්වය නිසා ඇමෙරිකාව විසින් පනවන තීරුබදු ගැන ශ්‍රී ලංකාව අනවශ්‍ය ලෙස කලබල නොවිය යුතු බවත්, ඇමෙරිකාව වෙත රාජ්‍ය දූතයන් යැවීමෙන් ද පලක් නොමැති වනවා සේ ම, ඔවුනට මේ ගැන හොද නරක කියාදීමක් ද සිදුකල නොහැකි බවත් එතුමාගේ මතයයි.
ශ්‍රී ලංකාවේ සමස්ථ අපනයන්ගෙන් 21% ක් හා ඇගළුම් අපනයන්ගෙන් 40%ක් පමණ මිලදී ගනු ලබන්නේ ඇමරිකාව විසින් වන අතර මේ වන විට දෙරට අතර ඇ.ඩො.බි. 2.5ක පමණ වෙළද අතිරික්තයක් ශ්‍රී ලංකාවට වාසිදායක වන අයුරින් පවතී.
එසේම ශ්‍රී ලංකාව විසින් ආනයන මත පනවා ඇති තීරුබදුවල සීමාව 20% ක තරම් ඉහළ අගයක මේ වන විටත් පවතී.
මහාචාර්ය අතුකෝරළගේ නිගමනය වන්නේ, ඇමරිකාව විසින් ප්‍රතිචාර තීරුබදු පැනවීමට සූදානම් වන රටවල් ලැයිස්තුවේ ලංකාව ගැන සදහනක් හෝ නොමැති නිසා “කුපිතවීම අමනකමක්” බවත්, ශ්‍රී ලංකාව විසින් කළ යුතු වඩාත් උචිත දෙය නම් තීරුබදු පැනවීමට නියමිත වියට්නාමය, දකුණු කොරියාව වැනි රටවල්වලින් විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට මෙය අවස්ථාවක් කර ගැනීමය.
කවුද මේ අතුකෝරල?: මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ ජාත්‍යන්තර වෙළඳාම, සංවර්ධන ආර්ථිකය සහ කාර්මික සංවර්ධනය පිළිබඳ විශේෂඥයෙකු වන අතර ඔස්ට්‍රේලියාවේ ජාතික විශ්වවිද්‍යාලයේ (ANU) Crawford School of Public Policy හි මහාචාර්යවරයෙකු ලෙස මේ වන විට සේවය කරයි.
ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව (ADB), ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), UNCTAD වැනි ජාත්‍යන්තර ආයතනවල උපදේශකයෙකු ලෙස ද එතුමා කටයුතු කර ඇත.