
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්රයේ සිටි පතාක යෝධයින් දෙදෙනෙකුගේ සමුගැනීම අද (03) දිනයේදී වාර්තා වී ඇත. ඒ දේශමාන්‍ය කන්දයියා (කෙන්) බාලේන්ද්‍රා හා දේශමාන්‍ය හැරී ජයවර්ධන ය.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්රයේ සිටි පතාක යෝධයින් දෙදෙනෙකුගේ සමුගැනීම අද (03) දිනයේදී වාර්තා වී ඇත. ඒ දේශමාන්‍ය කන්දයියා (කෙන්) බාලේන්ද්‍රා හා දේශමාන්‍ය හැරී ජයවර්ධන ය.
මිය යන විට කෙන් බාලේන්ද්‍රා 85 වැනි වියේ පසු වූ අතර හැරී ජයවර්ධන 82 වැනි වියේ පසු විය. ඔවුන්ගේ නික්ම යෑම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්රයේ එක් යුගයක අවසානය සනිටුහන් කරයි.
කෙන් බාලේන්ද්‍රා: අද වන විටත් ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොලේ විශාලතම ලැයිස්තුගත සමාගමවන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (John Keells Holdings) සමාගමේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන්නේ කෙන් බාලේන්ද්රාය.
1940දී උපත ලද බාලේන්ද්‍රා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකි. 1958දී බ්‍රැඩ්බි පලිහ ජයගත් රග්බි කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස පාසල් වියේ සිටම නායකත්වය හා කණ්ඩායම් ක්‍රියාකාරීත්වය ඔහු ප්‍රදර්ශනය කළේය.
ජේම්ස් ෆින්ලේ සමාගමේ වතු පාලකවරයෙකු ලෙස 1963දී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන බාලේන්ද්‍රා 1969දී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (එවකට ජෝන් කීල් තොම්සන් වයිට් ලිමිටඩ්) සමාගමට සම්බන්ධ වන්නේ තේ තැරැව්කරුවෙකු ලෙසය. ඔහු විසින් පෙන්වනු ලබන සුවිශේෂි දක්ෂතා හේතුවෙන් 1974දී පමණ ජෝන් කීල්ස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහුව පත් කරනු ලබයි.
ඉන් පසු එම සමාගමේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා ලෙස ඔහුගේ පත්වීම සිදු වන්නේ 1990 දී පමණය. 2000 වසරේ විශ්‍රාම යන තෙක් මෙම ධුරය දැරූ ඔහු සිය නායකත්වය යටතේ ජෝන් කීල්ස් සමාගම සැලකිය යුතු වර්ධනයක් සහ විවිධාංගීකරණයක් සඳහා මෙහෙයවීය.
ජොන් කීල්ස් සමාගමට අමතරව 2000-2022 අතර කාලයේදී ලංකා බැංකුවේ මෙන්ම ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සහාවේ සභාපතිධුරයද, 2003-2008 අතර කාලයේදී ශ්‍රී ලංකා දුම්කොළ සමාගමේ සභාපතිධුරයද ඔහු විසින් හොබන ලදී. එසේම බ්‍රැන්ඩික්ස් සමාගමේ සභාපතිවරයා ලෙස ඔහු කළ සේවය ඇගයීම සඳහා 2015දී පමණ කොළඹ 03 ඉදිකළ ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලය කෙන් බාලේන්ද්‍රා නමින් නම් කිරීම 2016දී සිදු විය. තවද ශ්‍රී ලංකා අධ්යක්ෂකවරුගේ ආයතනයේ සමාරම්භක සභාපතිවරයා වන්නේද කෙන් බාලෙන්ද්රාය.
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්රයට සිදු කරන ලද සේවය අගය කිරීමක් ලෙස 1998දී ‘දේශමාන්‍ය’ සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය.
හැරී ජයවර්ධන: දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන හෙවත් හැරී ජයවර්ධන ශ්‍රී ලංකාවේ ප්‍රකට කර්මාන්තකරුවෙකු මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්රයේ ප්‍රබලයෙකි.
1942දී ජා-ඇළ ප්‍රදේශයේදී උපත ලද ඔහු, කුඩා තැනකින් පටන් ගෙන ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්රයේ හිනිපෙත්තටම නැගි ව්‍යාපාරිකයෙකි.
ශ්‍රී ලංකා රජයේ වාණිජ නීතිගත සංස්ථාවේ රැකියාවකින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන හැරී 1977දී පමණ සිය දෙවැනි නාමය උපයෝගී කර ගනිමින් ස්ටැසන් එක්ස්පෝර්ට්ස් සමාගම ආරම්භ කළේය.
පසුකාලීනව එයිට්කන් ස්පෙන්ස්, ඩිස්ටිලරීස්, මෙල්ස්ටකෝර්ප් යන සමාගම්වල ප්‍රධනතම කොටස්කරුවා බවට පත්වන හැරී ජයවර්ධන එම සමාගම්වල සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.
තවද හැටන් නැෂනල් බැංකුව සහ DFCC බැංකුවේද සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් ජයවර්ධන සතුය. එසේම ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ සභාපතිවරයා ලෙසද ඔහු වරක් කටයුතු කර ඇත.
2005දී එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් ‘දේශමාන්‍ය’ ගරු නාමය ජයවර්ධන හට ලබා දෙන ලදී. ශ්‍රී ලංකාවේ සිටින පොහොසත්ම ව්‍යාපාරිකයින් අතරින් කෙනෙකු ලෙස Forbes සමාගම විසින් හැරී ජයවර්ධනව හඳුන්වා දී ඇත.