ආර්ථික
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අවසන් අදියර සාර්ථකව නිමා කිරීමට IMF සහය
image for ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ අවසන් අදියර සාර්ථකව නිමා කිරීමට  IMF සහය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ණය හිමියන්ගේ වේගවත් සහ පුළුල් සහභාගීත්වය ඉතා වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි.

“මෙම සාමූහික ප්‍රයත්නය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නවල සාර්ථකත්වයට සහාය වීම සඳහා අතිශයින් වැදගත් වේ,” ඊයේ (26) දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් ඇය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කැපවී සිටින බව ඇය තවදුරටත් අවධාරණය කළාය.

IMF කළමනාකාර අධ්‍යක්ෂිකාවගේ මෙම ප්‍රකාශය ශ්‍රී ලංකා රජය විසින් වාණිජ ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ අවසන් අදියරට පැමිණීම සමපාත වේ.

බැඳුම්කර හුවාමාරුව: කැබිනට් මණ්ඩල අනුමැතියට පසු ඊයේ දිනයේදී මුදල් අමාත්‍යංශය වාණිජ ණය හිමියන් සමග 2024 සැප්තැම්බර් මාසයේ 19 වැනිදා ඇති කර ගත් මූලික එකඟතාවයට අනුකූලව ජාත්‍යන්ර ගෙවීම පැහැර හැර ඇති ජාත්‍යන්තර බැඳුම්කර වෙනුවට නව බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලියේ ආරම්භය නිවේදනය කරන ලදී.

2024 දෙසැම්බර් 12 වැනි දින වන තෙක් සති තුනක කාලයක් තුළ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ට ඔවුන්ගේ පරණ බැඳුම්කර වෙනුවට අලුත් බැඳුම්කර ලබා ගැනීමට ආරධනා කරන බව මුදල් අමාත්‍යංශයේ නිවේදනයේ දැක්වේ.

මෙසේ හුවමාරු කරගැනීමට නියමිත ජාත්‍යන්තර බැඳුම්කරවල මුළු වටිනාකම ඇ.ඩො.බිලියන 12.55කි.

අලුතින් නිකුත් කරන ජාත්‍යන්තර බැඳුම්කර අතර ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට  ඈඳූ  (macro-linked bonds) සහ ආණ්ඩුකරණයට ඈඳූ (governance-linked bonds) දැකගත හැකිය.

ශ්‍රී ලංකාව විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර බැඳුම්කර වලින් 50%කට වඩා වැඩි හිමිකාරීත්වය Ad Hoc Group of Sri Lanka Bondholders (40%) සහ  Local Consortium of Sri Lanka (12%) යන කණ්ඩායම් දෙක සතුය.

Ad Hoc Group of Sri Lanka Bondholders නම් කණ්ඩායමෙහි සිටින්නේ ලෝකයේ විවිධ විශ්‍රාම අරමුදල් (pension funds), හෙජ් අරමුදල් (hedge funds) හා මුදල් කළමණාකරණ ආයතනයන්ය.

Local Consortium of Sri Lanka සැකසී ඇත්තේ ශ්‍රී ලංකාවේ බැංකු සහ මූල්‍ය ආයතන කිහිපයකිනි.

ඊයේ දිනයේදී මෙම කණ්ඩායම් දෙකම නිවේදනයන් නිකුත් කරමින් සිය සාමාජිකත්වයට හා ශ්‍රී ලංකාවේ අනෙකුත් වාණිජ ණය හිමියන්ට මෙම බැඳුම්කර හුවමාරුවට සහභාගී වන ලෙස ඇරයුම් කර තිබිණි.

ණය ප්‍රතිව්‍යුහගතකරණයේ නිමාව?: මෙම බැඳුම්කර හුවමාරුව අවසන් වීමත් සමගම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ විශාල කොටසක අවසානය සනිටුහන් කරයි. 

ප්‍රතිව්‍යුහගතකරණය සඳහා තවත් ඉතිරිව ඇත්තේ චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ණය වැනි ණය ගනු දෙනු කිහිපයකි. මෙවැනි ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන්ද මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී ඇත.

ද්වීපාර්ශවීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ණය හිමියන් සමග ශ්‍රී ලංකාව එකඟතාවක් ඇති කර ගන්නේ 2024 වසරේ ජූනි මාසයේදීය. එසේම 2023 වසරේදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නිම කිරීමට ශ්‍රී ලංකාවට හැකි විණි.

2022දී ණය ගෙවීම පැහැර හැර දැමූ ශ්‍රී ලංකාව, මෙම ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලිය යටතේ නැවත ණය පියවීම 2027දී ආරම්භ කිරීමට නියමිතය.

එසේම මෙම බැඳුම්කර හුවමාරුව අවසන් වීමත් සමගම ශ්‍රී ලංකාවට ඇලවී තිබූ ණය නොගෙවීම (default) නම් ලේබලය ගැලවී ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ යාමට නියමිතය.