විනිවිද
හයිඩ්‍රජන් බලයෙන් දුවන දුම්රිය අත්හදා බැලීමට සැරසෙන ඉන්දියාව
image for හයිඩ්‍රජන් බලයෙන් දුවන දුම්රිය අත්හදා බැලීමට සැරසෙන ඉන්දියාව

ඉන්දියානු දුම්රිය සේවය එළැඹෙන දෙසැම්බරයේදී හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාත්මක වන සිය පළමු දුම්රිය අත්හදා බැලීමේ අපේක්ෂාවෙන් පසුවෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙම අත්හදා බැලීම සමස්ත ඉන්දීය දුම්රි‍ය සේවාව තිරසාරත්වය කරා යන ගෙනයන, වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත.

මෙම අත්හදා බැලීම ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ හි පිහිටි ජින්ඩ්-සෝනිපාට් නැමැති කිලෝමීටර් 90ක මාර්ගයේදී  සිදු කිරීමට නියමිතය. 

එසේම මෙම අත්හදා බැලීම මගින් ඉදිරියේදී හරිත බලශක්ති විසඳුම් අනුගමනය කිරීමටත්, 2030 වන විට ශුද්ධ-ශුන්‍ය කාබන් විමෝචනය සාක්ෂාත් කර ගැනීමටත් ඉන්දීය දුම්රිය සේවාව අපේක්ෂා කරයි.

හරිත ගමනාගමනය: අති නවීන තාක්‍ෂණය භාවිතයෙන් නිපදවන ලද  මෙම දුම්රියේ, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ඒකාබද්ධ වීමෙන් විදුලිය ජනනය වීම හරහා දුම්රිය ධාවනය පණ ගන්වනු ලබයි. 

එසේම මෙය තිරසාර ප්‍රවාහන විසඳුමක් වන්නේ මෙය කාබන් විමෝචනයෙන් තොර,  ජල වාෂ්ප පමණක් නිකුත් වන ක්‍රියාවලියක් නිසාවෙනි.

මෙවැනි නවීන තාක්ෂණයක් භාවිතා කිරීමෙන් දුම්රිය ගමනාගමනය පොසිල ඉන්ධන මත යැපීම අවම කරන අතර එමගින් කාබන් විමෝචනය නිසා සිදුවන දේශගුණික විපර්යාසයන්ටද සාධනීය පිළිතුරක් සපයයි.

මෙම මූලික අත්හදා බැලීම් වටය උදෙසා ඉන්දියාව ජින්ඩ් සෝනිපත් මාර්ගයම  තෝරා ගෙන ඇත්තේ එය සතු ගමනාගමන යටිතල පහසුකම් නිසාවෙනි. 

මෙම දුම්රියේ කාර්ය සාධනය, ක‍ාර්යක්ෂමතාව සහ ආරක්ෂාකාරී අංගෝපාංග ඉතා ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරමින් මෙම ව්‍යාපෘතිය  පුළුල් කිරීමේ  සූදානම මේ හරහා සහතික කිරීමට ඉන්දීය දුම්රිය සේවය බල‍ාපෙ‍ාරොත්තු වේ. 

ප්‍රතිලාභ; සාමාන්‍යයෙන් ‍ඩීසල් මගින් ධාවනය වන දුම්රිය සේවාවන්ට වඩා මෙම හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාත්මකවන දුම්රිය සේවාවේ දක්නට ලැබෙන ප්‍රතිලාභ රාශියකි.

ඉන් ප්‍රධානම වාසිය ලෙස මේ හරහා පරිසරයට ඇතිවන අවම බලපෑම පෙන්වාදීය හැකිය. මන්ද,මෙම දුම්රිය හරිතාගාර වායු විමෝචනය කරන අතර, දුම්රිය ගමනේදී  ඇතිවන කාබන් පියසටහන  (carbon footprint)  සැලකිය යුතු ලෙස අඩු කරයි.

එසේම හයිඩ්‍රජන් බලැති දුම්රියෙන් අත්වන ආර්ථීක වාසිය ද සුළුපටු නෙ‍ාවේ. ඝෝෂාවෙන් පිරුණු ඩීසල් දුම්රියට සාපේක්ෂව කාර්යක්ෂමතාව අතින් හයිඩ්‍රජන් බලැති දුම්රිය ඉහළ ස්ථානයක ද වේ. 

එසේම හයිඩ්‍රජන් බලැති දුම්රිය විදුලි බලයෙන් ක්‍රියාත්මක නෙ‍ාවන දුම්රිය මාර්ගයන්හිදීද ගැටලුවකින් තොරව ධාවනය කිරීමට හැකියාව ඇත. 

අනාගත සැලසුම් : 2025 වන විට ඉන්දීය දුම්රිය සේවාවේ බලාපොරොත්තුව වන්නේ රට පුරා ‍හයිඩ්‍රජන් බලයෙන් ක්‍රිය‍ාත්මක වන දුම්රිය සේවා 35ක් හඳුන්වා දීමටයි. මෙම දුම්රි‍ය සේවාවන් මූලිකව ක්‍රියාත්මක වන්නේ විදුලියෙන් දුම්රිය ක්‍රියාත්මක නොවන ඩීසල් එන්ජින් යොදා ගෙන සේවය සපයන මාර්ගවලයි. 

මේ අතර ඉන්දීය දුම්රිය සේවාව සංවර්ධනය කිරීමට ඉන්දීය රජය දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ හවුල්කරුවන් හා අයෝජකයින් සොයයි. මෙවැනි අත්හදා බැලීම් එවැනි ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට ඉවහල් වනු ඇත.

අද වන විට චීනය, ජර්මනිය, ඔස්ට්‍රියාව හා නෙදර්ලන්තය වැනි රටවල් හයිඩ්‍රජන් බලයෙන් ක්‍රිය‍ාත්මක වන දුම්රිය සේවා ක්‍රියාත්මක කරයි.

ලෝකයටම ආදර්ශයක්: ලෝකයේ විශාලතම මගී දුම්රිය සේවාව පවතින රට වන්නේ ඉන්දියාවයි. මෙම හයිඩ්‍රජන් බලයෙන් ක්‍රිය‍ාත්මක වන දුම්රිය සේවය අත් හදා බැලීම ඉන්දිය දුම්රිය ඉතිහාසයේ සුවිශේෂී මං සලකුණක් සනිටුහන් කරනු ඇත.

සාම්ප්‍රදායික දුම්රිය ගමනාගමන තාක්ෂණයෙන් ඔබ්බට ගොස්  තිරසාර ශක්ති ප්‍රභවයන් ‍භාවිතා කිරීමට ඉන්දීය දුම්රිය සේවය දරන මෙම උත්සාහය සමස්ත දකුණු ආසියා කලාපයට මෙන්ම මුළු මහත් ලෝක‍යටම ආදර්ශයකි.