විනිවිද
ඉතිහාසයේ ඉහළම කාන්තා නියෝජනය ඊලඟ පාර්ලිමේන්තුවට​?
image for ඉතිහාසයේ ඉහළම කාන්තා නියෝජනය ඊලඟ පාර්ලිමේන්තුවට​?

පවුල් දේශපාලන පසුබිමක් රහිත ආචාර්ය හරිනි අමරසූරිය අභිනව අගමැතිවරිය ලෙස පත් වීමත් සමගම, ශ්‍රී ලංකා දේශපාලනයේ කාන්තා නියෝජනය පිළිබඳව සුබ බලාපොරොත්තු සමාජය තුළ මේ වන විට දළු ලමින් පවතී. 

සමහර දේශපාලන විචාරකයින් පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විශාලතම කාන්තා පාර්ලිමේන්තු නියෝජනය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණය හරහා සිදු විය හැකිය.

ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයට අනුව​, ලෝකයේ ජාතික පාර්ලිමේන්තු වල කාන්තා ප්‍රතිශතය හා සන්සන්දනය කල විට, ශ්‍රී ලංකාව දැනට පසුවන්නේ රටවල් 189 කින් 179 වැනි ස්ථානයේය. 

ජර්මනියේ ඩොයිෂේ වෙල් (DW) විසින් සිදු කරන ලද පරීක්ෂණයටකට අනුව ලංකාවේ ජනගහනයෙන් 50.7%ක් කාන්තාවන් වුවත්, පසුගිය පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ප්‍රතිශතයක් වශයෙන් 5.33%ක් පමණක් වූ අතර, ශ්‍රී ලංකාවට වඩා අඩු ප්‍රතිශතයන් තිබූ අනෙකකුත් ආසියාතික රටවල් දෙක වූයේ ඇෆ්ගනිස්ථානය හා භූතානයයි. එසේම ආසියාවේ රටවල කැබිනට් ඇමතිවරියන් ගණනය කරන විට, ශ්‍රී ලංකාව ඩොයිෂේ වෙල් ලැයිස්තුවට ඇතුලත් වන්නේවත් නැත.

මීට අමතරව සැප්තැම්බර් 21 පැවති ජනාධිපතිවරණයේදී එකදු කාන්තාවක්වත් ජනාධිපතිවරණ අපේක්ෂිකාවක් ලෙස කිසිම පක්ෂයකින් හෝ ස්වාධීන අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් නොවීමත්, කාන්තාවන් සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ඇති සීමිත ඉඩ හසර පිළිබඳව මනාව පැහැදිලි කරයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය පසුගිය දශක කිහිපය පුරා ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කලද, එය කිසි විටක ප්‍රතිශතාත්මකව 6.5% ඉක්මවා ගොස් නැත.

ඉහළ කාන්තා නියෝජනයක් අවශ්‍ය ඇයි? ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් හරි අඩක් කාන්තාවන් නම්, එය රටේ පාර්ලිමේන්තුවේ නියෝජනය වීම සිදු විය යුතුය. කාන්තා නියෝජනය ඉහල යාම ඔස්සේ ප්‍රතිපත්ති සම්පාදනයේදී වඩාත් සමබර, විවිධත්වයෙන් යුතු ප්‍රතිපත්ති, නීති හා රෙගුලාසි නිර්මාණය කර ගැනීමෙ හැකියාවක් පවතී.

එසේම කාන්තා පාර්ශවයටම අනන්‍ය වූ වන ඔසප් දරිද්‍රතාවය​, කාන්තා ප්‍රජනන අයිතිවාසිකම්, ස්ත්‍රී-පූරුෂභාවය පදනම් කරගත් ප්‍රචන්ඩත්වය ආදී  පිළිබඳව ගැටළු සම්බන්ධයෙන් පිළිතුරු සෙවීමේදී, කාන්තා නීතී සම්පාදකයින්ගේ ක්‍රියාකාරී දායකත්වය ඉතා වැදගත් ය.

තවද වැඩි කාන්තා පාර්ලිමේන්තු නියොජනයක් හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට ඔවුන්ව ඍජු ලෙස සම්බන්ධ කර ගත හැකි අතර, නායකත්ව භූමිකාවන්හි කාන්තාවන් සවිබල ගැන්වීම හරහා සියලු දෙනා ඇතුලත් (inclusive), ප්‍රජාතන්ත්‍රවාදී අගයන් සහිත සමාජ ක්‍රමයක් බිහිකර ගැනීමට ඇති ඉඩ කඩ වැඩිය.

එසේම ලෝකය මෙතෙක් සිදු කර ඇති විවිධ අධ්‍යයනයන්ට අනුව, කාන්තාවන්ට සාපෙක්ෂව, බලය අවභාවිතා කිරීමේ වැඩි නැඹුරුතාවයක් දක්වනේ පිරිමින් ය. එවන් තත්වයක් තුළ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය වැඩිවීම, අප රටේ පවතින ආණ්ඩුකරණ අර්බුධය (governance crisis) විසඳා ගැනීමට මෙන්ම ජනතාව අපේක්ෂා කරන යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කර ගැනීමට අත්‍යන්තයෙන්ම උපකාර විය හැක.

මේ තත්වය තුළ ලංකාවේ සියලු ප්‍රධාන දේශපාලන පක්ෂ මෙවර මැතිවරණයේදී කාන්තාවන්ට හා තරුණ පිරිස් වෙත වැඩි අවස්ථා ලබා දීමේ නැඹුරුතාවයක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ගෝලීය ප්‍රවනතා: ඉහත සඳහන් වූ ඩොයිෂේ වෙල් පරීක්ෂණයට අනුව ආසියාවේ වැඩිම ස්ත්‍රී නියෝජනයක් තිබෙන පාර්ලිමේන්තුව වන්නේ තායිවාන පාර්ලිමේන්තුවයි. එය 41.6%කි. එසේම වැඩිම කාන්තා කැබිනට ඇමතිවරියන් සිටින රට වන්නේ ජපානයයි. එය 25%කි.

ලෝකයේ සමහර බටහිර රටවල් මෙන්ම​, ආසියාවේද බෝහෝ රට වල කාන්තා නියෝජන ප්‍රතිශතය ව්‍යවස්තාවෙන්ම අනිවාර්ය කර තිබේ. උදාහරණයක් ලෙස ඉන්දියාවේ ජාතික පාර්ලිමේන්තුව වන ලෝක් සභාව සහ රාජ්‍ය සභාවේ ආසන වලින් 33% ක් කාන්තාවන් සඳාහා වෙන් කිරීම අනිවාර්ය කරන පනතක් 2023 දී සම්මත කරන ලදී.