විනිවිද
ආරංචිය සුබයි! ලංකාවේ අනාගතය වෙනස් කරන තරුණියන් 50 මෙන්න!
image for ආරංචිය සුබයි! ලංකාවේ අනාගතය වෙනස් කරන තරුණියන් 50 මෙන්න!

ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව අතිශයින් සුබවාදී හැඟීම් රොත්තක් ඊයේ (20) සවස් යාමයේ කොළඹ Cinnamon Grand හෝටලයේ පැවැත්වූ Shine 50 සම්මාන උළෙලට සහභාගී වූ බොහෝ දෙනෙකුගේ සිත්වල ජනිත වූවා නම් එය පුදුමයට කරුණක් නොවේ.

ඒ මන්දයත් මෙවන් දක්ෂ, අධිෂ්ඨානශීලී, නිර්මාණශීලී හා සාම්ප්‍රදායික බැමි සුණු විසුණු කරමින් ඉදිරියට ඇදෙන තරුණ කාන්තා පරපුරක් සිටින රටක් කිසිසේත්ම ඉදිරියට මිස පසුපසට යා නොහැකි බැවිනි..

Echelon Media සමූහයේ Neon සහ Echelon මාධ්‍ය සන්නාමයන් එක්ව ඊයේ දිනයේදී එළි දැක් වූ Shine 50 ලැයිස්තුව, වයස අවුරුදු 18 ත් 35 ත් අතර කලාව, ව්‍යාපාර, සමාජ ව්‍යවසාය, අධ්‍යාපනය, පරිසරය, තාක්‍ෂණය, විනෝදාස්වාදය, විද්‍යාව, මාධ්‍ය ආදී විවිධ ක්ෂේත්‍රයන්හී නියැලී සිටින, සමාජයට සුබලපෑමක් කරන තරුණියන් 50 දෙනෙකු සොයා ගිය ගමනේ කූඨප්‍රාප්තියයි.

(ඉහළ පේළියේ වමේ සිට: පියුමි වත්තුහේවා, මීරා නඩරාසා, ටෂිනි විතානගේ, තනුකි ගුණසිංහ/ පහළ පේළියේ වමේ සිට: රෝස් ප්‍රනාන්දු, ඩියානා ජයසුන්දර, ශ්‍රියංගනී ධනපාල,ෂෙනෙල් රොද්‍රිගෝ)

Shine 50 ලැයිස්තුවට තෝරා ගැනීමේ ක්‍රියාවලිය මූලික වශයෙන් සිදුවූයේ මහජන අයදුම්පත් කැඳවීමක් හරහාය. එලෙස ඉදිරිපත් වූ අයදුම්පත් සංඛ්‍යාව 700කට අධික විය.

Neon සහ Echelon කර්තෘමණ්ඩල විසින් උපදේශනය, බලපෑම, නවෝත්පාදනය හා නිර්මාණශීලිත්වය හා පරිමාණය සහ තිරසාරභාවය යන නිර්ණායකයන් ඔස්සේ ශ්‍රී ලංකාවේ නන්දෙසින් ලැබුණු මෙම අයදුම්පත් සමාලෝචනය කරන ලදී. අතිශය විනිවිදභාවයකින් යුතු තෝරාගැනීමේ ක්‍රියාවලියක් හරහා තෝරාගත් තරුණියන් 50 දෙනෙකු ඊයේ පැවති Shine 50 සම්මාන උත්සවයේදී සම්මානයට පාත්‍ර විය.

(වමේ සිට පිළිවෙලින්: නාමිණී පණ්ඩිත,හෆ්සා මුහීඩ්, පුලනි රණසිංහ, සෆ්රා අන්වර්, පියුමනී රණසිංහ)

මෙම 50 දෙනාගේ ලැයිස්තුවේ සාමාන්‍ය වයස අවුරුදු 29ක් පමණ වේ. එසේම එයින් 31 දෙනෙකු කිසියම් ව්‍යාපාරයක හෝ ආයතනයක නිර්මාතෘ හෝ සම නිර්මාතෘවරියන් ය. මෙම ලැයිස්තුවේ සාමාජිකයින්ගේ සාමූහික පළපුරුද්ද වසර 589කි!

ඊයේ දිනයේදී සම්මානයට පාත්‍ර වූ තරුණියන් අතර එක් අයෙකි, මීරා නඩරාසා. මඩකලපුවේ පිහිටි Anicham Media හරහා LGBTQ+ ප්‍රජාවට ආරක්ෂිත අවකාශයක් නිර්මාණය කිරීමේ ප්‍රයත්නයක ඇය නිරත වෙයි. Ocean Theory සමාගමෙහි සම-නිර්මාතෘ වන මනේකා වරංගි විසින් පාසල් පෙළපොත් පුවරු ක්‍රීඩා සහ චිත්‍ර කතා ලෙස ප්‍රතිනිර්මාණය කරමින්, ශ්‍රී ලාංකීය දරුවන් ඉගෙන ගන්නා ආකාරය විප්ලවීය වෙනසකට ලක් කරමින් සිටී . කළුතර ප්‍රදේශයේ ජීවත් වන ලක්මිණි වීරක්කොඩි විසින් ස්වාභාවික ආහාර සඳහා ඉහළ යන ඉල්ලුමට පිළියමක් වශයෙන් විජලනය කළ ආහාර නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවා ඇත. මේ වනවිට රටවල් ගණනාවකට සිය නිෂ්පාදන අපනයනය කරන ලක්මිණි, තම ප්‍රදේශයේ කාන්තාවන්ට තිරසාර ජීවනෝපාය මාර්ගයක් සලසයි. 

(ඉහළ පේළියේ  වමේ සිට: රෙෂාමි චාතුර්යා කොඩිකාර, නිශාන්ති සමරසේකර, මිරන්ති පතිරගේ, කේශයිනි එඩ්මන්ඩ්, නර්තනා සත්‍යමූර්ති / පහළ පේළියේ වමේ සිට: ලක්මිණි වීරක්කොඩි, මිරන්ති පතිරගේ, නිසංසලා රත්නගේ)

ඒ වගේම යාපනය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක් වන අරුල්ප්‍රියා කිරේකරන් ඇයගේ ව්‍යාපාරය හරහා එම ප්‍රදේශයේ ප්‍රධාන පාරිසරික ප්‍රශ්නයකට පිළිතුරු සපයා ඇත. ඇයගේ Agrofeed සමාගම විසින් යාපනයේ කරවල කර්මාන්තයේදි මුහුදට බැහැර කරන මත්ස්‍ය අපද්‍රව්‍ය යෙදාගෙන පෝෂණ ගුණයෙන් අනූන කුකුළු ආහාර සාදයි. වර්තමානය වන විට ඇයගේ මෙම ව්‍යාපාරයට ආයෝජනය කිරීමට විදේශ අයෝජකයින් පවා ඉදිරිපත්ව ඇත. මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයෙක් වුවත්, රෝස් ප්‍රනාන්දු, ලංකාව වටා ඇති මහ මුහුදේ සුන්දරත්වය ඉදිරි පරම්පරාවට රැක දෙන්න අදිටන් කරගත්ත තරුණියකි. The Pearl Protectors හි Cleaner Seabeds for Sri Lanka ව්‍යාපෘතියට නායකත්වය් සපයන රෝස්, ඇයගේ කිමිදුම් කණ්ඩායමත් සමග මුහුදු පත්ලේ තැන්පත්වන මාළු දැල්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීම හරහා කොරල්පර ඇතුළුව සමුද්‍ර ජීව පද්ධතිය ප්‍රතිෂ්ඨාපන කිරීමට වෙහෙසෙනවා.

(ඉහළ පේළියේ වමේ සිට: සාරංගි රත්නායක, සයෝජිතා විජයකුමාර්, විශ්මි කෞෂල්‍යා, සරණී ගුණතිලක / පහළ පේළියේ වමේ සිට: රෙහානා තව්ෆික්, අංජලී සිවරාජා)

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) ද, ප්ලැටිනම් අනුග්‍රාහකයා ලෙස සෙලාන් බැංකුවද මෙම Shine 50 ලැයිස්තුවේ හා සම්මාන උළෙලේ සාර්ථකත්වයේ ප්‍රධාන කොටස්කරුවන් වේ.

Echelon Media සමූහයෙහි කොටසක් වන Neon, ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය සඳහා වූ එකම ඩිජිටල් මාධ්‍ය සන්නාමයයි! ශ්‍රී ලංකාවේ Podcast ක්ෂේත්‍රයේ නව මානයන් සොයා යන Neon පුවත්වල ඇති නොපෙනෙන කෝණයන් සිය ග්‍රාහකයින් වෙත ගෙන ඒමට උත්සාහ කරයි. එමගින් ලංකාවේ තරුණ පරපුර ධනාත්මක අදහස් වලින් සවිබල ගැන්වීම හා ප්‍රබෝධමත් කිරීම ප්‍රමුඛතම අපේක්ෂාව වේ.

නවෝත්පාදනය, නායකත්වය, ආයෝජනය, ආණ්ඩුකරණය සහ පුද්ගල නිදහස පිළිබඳ සුවිශේෂී අවධානයක් සහිත, කුතුහලයෙන් පිරි පාඨකයින් සඳහා වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රගතිශීලී ව්‍යාපාරික මාධ්‍ය සන්නාමය Echelon වේ. ඩිජිටල් සහ වීඩියෝ යන මාධ්‍යයන් දෙකෙන්ම Echelon ප්‍රකාශයට පත් කෙරේ.

(ඉහළ පේළියේ වමේ සිට: අභිෂේකා ප්‍රනාන්දු, අලෝෂා හේරත්, ආදිත්‍යා ජයසීලන්, අරුල්ප්‍රියා කිරේකරන්, අනීතා වි. ශිව්/ පහළ පේළියේ වමේ සිට: භාග්‍යා විජයවර්ධන, ග්‍රේස් හෙන්ස්මන්, එරන්දි තෙන්නකෝන්, ඩිනාරා පුංචිහේවා, ෂානා කරන්)

(ඉහළ පේළියේ වමේ සිට: චමෙ‍ා්දි විදානගේ, කවින්ද්‍යා තෙන්නකෝන්, හනා ෂෆා, ජැක්ලින් පෙරේරා, ඉරුෂි තෙන්නකෝන් / පහළ පේළියේ වමේ සිට: හුස්නා නලීර්, කල්පා ගන්ධාරී)