දේශපාලන
රනිල්ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ මහින්දට හොඳ නැති වෙයි

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කැබිනට්ටුවේ සිටින පොහොට්ටු පක්ෂයේ ඇමතිවරුන් රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් රජය සිදුකර ගෙන යන ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට සහය පළ කරද්දී හිටපු ජනාධිපති හා පොහොට්ටු පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ රාජ්‍ය දේපළ පෞද්ගලීකරණයට විරුද්ධව දැඩි මතයක් ප්‍රකාශ කර ඇත.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කැබිනට්ටුවේ සිටින පොහොට්ටු පක්ෂයේ ඇමතිවරුන් රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් රජය සිදුකර ගෙන යන ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට සහය පළ කරද්දී හිටපු ජනාධිපති හා පොහොට්ටු පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ රාජ්‍ය දේපළ පෞද්ගලීකරණයට විරුද්ධව දැඩි මතයක් ප්‍රකාශ කර ඇත.

ඔහු පවසන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ 99%ක බහුතරය ද තමා සමග එකඟ වන බවයි.

ඊයේ (මැයි 16) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

එම පක්ෂයේ සාමාජිකයෙකු වන මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ, දැනට සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්තිමය මාවතෙන් ලංකාව බැහැරට ගියහොත් ලංකාවේ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීමට වසර 15ක් පමණ ගත වනු ඇති බවයි.

ස්වාධීනත්වයට හානි වෙලා නැහැ: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ සිටිය ද සිය අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමේ අයිතිය පක්ෂයට ඇති බව හිටපු ජනාධිපතිවරයා පැවසීය.

“අපි ආණ්ඩුවේ හිටියට අපේ ස්වාධීනත්වයට හානි වෙලා නැහැ. අපේ අදහස් ඕන වෙලාවක ප්‍රකාශ කරන්න පුළුවන්,” යැයි ඔහු මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කළේය.

සිය පක්ෂය අනුමත නොකරන ප්‍රතිපත්ති වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිටව යාමට සූදානම් බව ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

තව ද රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ හි නායකයා ලෙස මහින්ද රාජපක්ෂ විසින් මෙම මැයි 12 වන දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණි.

එහි සඳහන් වන්නේ රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගනිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ පොදු මහජනතාව අතර නොසන්සුන්තාවක් හටගෙන ඇති බවයි. 

පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා වන වියදම් අවම කිරීමට සහ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි සපුරාලීමට මෙලෙස වත්මන් ආණ්ඩුව පියවර ගනිමින් සිටින බව පෙනෙන්නට තිබේ යැයි එහි සඳහන් වේ.

ප්‍රයෝජනයට නොගත් රජයේ දේපළක් නිරන්තර පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාරයක් ඇත්නම් එවැන්නක් නැවත නගා සිටුවීම සඳහා පෞද්ගලික අංශයේ හවුල්කාරීත්වය ලබා ගැනීම අර්ථවත් ක්‍රියාවක් බව අදාළ නිවේදනයේ දැක්වේ.

වෘත්තීය සමිති නම්‍යශීලී විය යුතුයි: අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, රාජ්‍ය අංශයේ ආයතනවල පෞද්ගලික අංශයේ සහභාගීත්වය සම්බන්ධයෙන් වෘත්තීය සමිති නම්‍යශීලී ප්‍රවේශයක් ගත යුතු බවයි. 

යම් රාජ්‍ය ආයතනයක හිමිකාර ව්‍යුහය තුළ හෝ පාලන ව්‍යුහය තුළ පෞද්ගලික අංශයේ ඕනෑම මැදිහත්වීමක් පෞද්ගලීකරණය කිරීමක් ලෙස නිර්වචනය කළ හැකි අතර එලෙස රජය සතු ව්‍යාපාරයක් සඳහා විදේශීය හෝ පෞද්ගලික අංශයේ ආයෝජන ලබා ගැනීමට ගන්නා සෑම උත්සහයකටම වෘත්තිය සමිති විරුද්ධ නොවිය යුතු බව හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.