විනිවිද
නොදන්න ලින්ක් ක්ලික් කරලා හොරුන්ට අහු වෙන්න එපා…

ජංගම දුරකතනවලට ලැබෙන නොදන්නා සබැඳිවලට පිවිසීම, වංචා සහගත යෙදුම් (app) සහ ගොනු (file) බාගත කිරීම (download) හේතුවෙන් මූල්‍ය වංචා සම්බන්ධ සිදුවීම් කීපයක්ම වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා බැංකු සංගමය, LANKAPAY සහ FinCSIRT ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර ඇත.

ජංගම දුරකතනවලට ලැබෙන නොදන්නා සබැඳිවලට (links) පිවිසීම, වංචා සහගත යෙදුම් (app) සහ ගොනු (file) බාගත කිරීම (download) හේතුවෙන් දේශීයව මෙන්ම ගෝලීය වශයෙන් ද මූල්‍ය වංචා සම්බන්ධ සිදුවීම් කීපයක්ම වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා බැංකු සංගමය, LANKAPAY සහ FinCSIRT ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර ඇත.

භයානකකම: ඉහත පරිදි ඔබේ ජංගම දුරකතනයට විවිධාකාරයෙන් ලැබෙන නොදන්නා සබැඳිවලට පිවිසීම, වංචා සහගත ඇප් හෝ file බාගත කර ගැනීම හරහා වංචාකරුවන්ට ඔබේ දුරකතනය දූරස්ථව සිට පාලනය කිරීමේ හැකියාව හිමි වේ. එවිට ඔබේ දුරකතනයෙ හි ඇති බැංකු හෝ ගෙවීම් යෙදුම් (payment apps) වෙත පිවිසීමට ඔවුනට අවස්ථාව ලැබේ. පසුව එම බැංකු ගිණුම් සහ කාඩ්පත් තොරතුරු භාවිත කරමින් වංචනිකව මුදල් සොරකම් කිරීමට ඔවුන් කටයුතු කරනු ඇත.

පරිස්සම් විය යුත්තේ මොනවාගෙන් ද?: සමාජ මාධ්‍ය, වෙබ් අඩවි හරහා හෝ ඔන්ලයින් ක්‍රමයට ඔබට ලැබෙන පණිවුඩ පිළිබඳ ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුය. එමෙන්ම ඔබට ලැබෙන එම පණිවුඩවල සඳහන් සැකකටයුතු දෑ නොකර සිටීමට ඔබ පරිස්සම් විය යුතුය. අදාළ නිවේදනයේ සඳහන් වන්නේ මෙරට භාවිත වන බැංකු සහ ගෙවීම් යෙදුම් ජාත්‍යන්තර ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූලව සකසා ඇති බවත් මෙවන් වංචනික ක්‍රියාවලට හේතුව එම ආරක්ෂණ ක්‍රමවල දුර්වලතාවක් නොව ජංගම දුරකතනවල පාලනය වංචාකරුවන් අතට පත්වීම බවත්ය.

වංචාවකට හසු නොවීමට නම් කළ යුත්තේ කුමක් ද?: 

  • ඔන්ලයින් මාර්ගයෙන් ඔබ වෙත ලැබෙන ඇදහිය නොහැකි ආකාරයේ ආකර්ෂණීය වට්ටම් හා දීමනා පිළිබඳව වන වෙළඳ දැන්වීම්වලින් ප්‍රවේශම් වන්න.
  • සබැඳි (link) මත ක්ලික් කිරීම හා නොදන්නා මූලාශ්‍රවලින් ඔබට ලබා දෙන ඇප් හෝ file බාගත කිරීමෙන් වළකින්න.
  • ඔබගේ අනුමැතියකින් තොරව ඔබව සමාජ මාධ්‍ය හරහා හෝ ඔන්ලයින් පණිවුඩ හුවමාරු ක්‍රම හරහා නොදන්නා සමූහවල (group) එක් කර ඇත්නම් ඒවායෙන් ඉවත්වන්න. විශේෂයෙන්ම එවැනි සමූහවලින් බෙදාහරින සබැඳි ක්ලික් කිරීමෙන් වළකින්න.
  • ඔබගේ ජංගම දුරකතන හෝ උපාංග තුළ මුර පද (password), රහස්‍ය අංක ආදිය ගබඩා කර තබා ගැනීමෙන් වළකින්න.
  • Apple App Store, Google play Store වැනි නිල යෙදුම් හරහා පමණක් ඔබට අවශ්‍ය ඇප් බාගත කරගන්න.
  • බැංකු ගිණුම් සහ මුදල් ගෙවීමේ ඇප් භාවිතයේදී ඒවාට ප්‍රවේශවීමට ඇඟිලි සලකුණු, මුහුණ හඳුනා ගැනීම වැනි ජෛව සත්‍යාපන ක්‍රම භාවිත කරන්න.
  • Apple App Store, Google play Store වැනි නිල යෙදුම් හරහා ප්‍රතිවෛරස යෙදුමක් (antivirus app) බාගත කර ස්ථාපනය (install) කරගන්න. එය නිරන්තරව යාවත්කාලීන (update) කරන්න. එවිට වෛරස් සහ හානිකර මෘදුකාංග හඳුනාගැනීමට සහ ඉවත් කිරීමට ඔබගේ ප්‍රතිවෛරස යෙදුමට හැකියාව ලැබේ.
  • විවිධ ලින්ක් ක්ලික් කිරීම මගින් පෞද්ගලික හෝ මූල්‍ය තොරතුරු හෙළි කිරීමට ඔබව පොලඹවන පණිවුඩ පිළිබඳ සැලකිලිමත් වන්න.
  • ඔබගේ උපාංගයේ අසාමාන්‍ය හැසිරීමක් දුටුවහොත් වහාම mobile data හෝ WiFi අක්‍රීය කරන්න. නැතිනම් airplane mode සක්‍රීය කරන්න.
  • FinCSIRT, බැංකු සහ මූල්‍ය ආයතන විසින් නිකුත් කරනු ලබන මූල්‍ය වංචා පිළිබඳ අනතුරු ඇඟවීම් කෙරෙහි අවධානය යොමු කර ඔවුන් නිර්දේශ කර ඇති පූර්ව ආරක්ෂණ ක්‍රම අනුගමනය කරන්න.