ව්‍යාපාරික
රේනෝ සිල්වා Hayleys සමාගමේ තුන්වන විශාලතම කොටස් හිමියා වෙයි!
image for රේනෝ සිල්වා Hayleys සමාගමේ තුන්වන විශාලතම කොටස් හිමියා වෙයි!

මාධ්‍ය හිමිකරු හා ආයෝජක රේනෝ සිල්වා ධම්මික පෙරේරා හට බහුතර කොටස් හිමි Hayleys  PLC සමාගමේ තුන් වන විශාලතම කොටස් හිමියා බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකාවේ එකම ව්‍යාපාරික පුවත්පත වන DailyFT වාර්තා කරයි.

එම පුවත්පත් වාර්තාවට අනුව මෙම සිද්ධිය සිදු වී ඇත්තේ රේනෝ සිල්වා විසින් පසුගිය සතියේ සිකුරාදා හා මේ සතියේ අඟහරුවාදා අතර කාලයේදී Hayleys කොටස් මිලියන 7ක් මිල දී ගැනීමත් සමගය.

එම ගනුදෙනුවත් සමගම රේනෝ සිල්වා සතු Hayleys කොටස් ප්‍රමාණය මිලියන 13.5ක්, නැතහොත් Hayleys සමාගමේ සමස්ත කොටස්වලින් 1.8%ක් වන බව එම DailyFT වාර්තාව පවසයි.

කොටස් හිමි ලයිස්තුව: 2023 දෙසැම්බර් 31 වන දිනට අනුව ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ධම්මික පෙරේරා හට Hayleys සමාගමේ කොටස් 51.01ක හිමිකාරීත්වයක් පවතී.

දෙවන විශාලතම කොටස් හිමියා වන්නේ D.S. ජයසුන්දර භාරයේ භාරකරුය. එම භාරය සතුව ඇති කොටස් ප්‍රමාණය Hayleys සමාගමේ මුළු කොටස් ප්‍රමාණයෙන් 11.6%කි.

තෙවන විශාලතම කොටස් හිමියා වන්නේ McLarens Holdings සමාගමයි. එම සමාගමට හිමි කොටස් ප්‍රමාණය Hayleys සමාගමේ මුළු කොටස් ප්‍රමාණයෙන් 1.76%කි.

ඒ අනුව මේ වන විට රේනෝ සිල්වා McLarens Holdings සමාගම අබිබවා ගොස් Hayleys සමාගමේ තුන් වන විශාලතම කොටස්කරුවා බවට පත්ව ඇත.

2024 මුදල් වර්ෂයට Hayleys කොටසක් සඳහා රුපියල් 5.35ක ලාභාංශය ප්‍රකාශයට පත් කිරීම සිදු වූ අප්‍ර්‍රේල් 1ට පෙර රේනෝ විසින් Hayleys කොටස් මිල දී ගැනීම ආරම්භ කර තිබූ බව Daily FT කියයි.

අරමුණ: රේනෝ සිල්වා DailyFT පුවත්පතට පවසා ඇත්තේ ඔහු විසින් Hayleys කොටස්වල සිදු කර ඇති ආයෝජනය දීර්ඝකාලීන ආයෝජනයක් බවයි. ඔහුට අනුව මේ වන විට කොළඹ කොටස් වෙළඳ පොළේ Hayleys සමාගමේ කොටස් අඩු තක්සේරු (undervalue) අගයක පවතී.

Hayleys සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන අතර, ව්‍යාපාරික ක්ෂේත්‍ර 12ක සිය ව්‍යාපාරික කටයුතු මෙහෙයවයි. එම සමූහයේ සමස්ත ආදායමෙන් 60%කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ අපනයනයන් හරහාය.

පසුගිය අඟහරුවාදා වන විට Hayleys කොටසක මිල රු. 83 සීමාව සිට රු.91 දක්වා ඉහළ ගොස් තිබිණි. අද දිනයේදී එය රු. 94 ඉක්මවා ගොස් ඇත.

ධම්මික පෙරේරාගේ Vallibel One PLC බහුතර කොටස් හිමි සම්පත් බැංකුවේ ද දෙවන විශාලතම කොටස් හිමියා වන්නේ රෙනෝ සිල්වාය.