කාලීන
කැසිනෝ සඳහා John Keells හා Melco ගිවිසුම්ගත වෙයි!
image for කැසිනෝ සඳහා John Keells හා Melco ගිවිසුම්ගත වෙයි!

කැසිනෝ ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම හා ආසියාවේ විශාලතම හෝටලය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ John Keells Holdings සමූහය හොං කොං හි Melco සමාගම සමග ගිවිසුම් ගත වී ඇති බව වාර්තා වෙයි.

John Keells සමාගම විසින් ඩොලර් බිලියනක් පමණ අයෝජන කර ඉදිකර ඇති කොළඹ 02 පිහිටා ඇති Cinnamon Life Integrated Resort හි පිහිටුවීමට නියමිත කැසිනෝ හෝටලයේ ක්‍රියාකරු ලෙස Melco Resorts & Entertainment Limited සමාගමේ සම්පූර්ණ අනුබද්ධිත සමාගමක් සමග සමග අවබෝධතා ගිවිසුමකට එලඹි බව John Keells සමාගම ඊයේ දිනයේදී (30) නිවේදනයකින් කියා සිටියේය.

මෙම නිවේදනයට අනුව:

  • Melco විසින් කැසිනෝ අවකාශය සවි කිරීම සහ සන්නද්ධ කිරීම (fit-out and equipping) සඳහා දළ වශයෙන් ඩොලර් මිලියන 125 ක් ආයෝජනය කරනු ඇත.
  • Cinnamon Life Integrated Resort පෙර නම් කර තිබූ පරිශ්‍රය Melco හි ප්‍රමුඛතම ඒකාබද්ධ හෝටල් සන්නාමය අනුව යමින් City of Dreams Sri Lanka  ලෙස නැවත සන්නාමකරණය වනු ඇත.
  • City of Dreams Sri Lanka ඒකාබද්ධ පරිශ්‍රයට සුඛෝපභෝගී කාමර 687කින් යුත් Cinnamon Life නම් හෝටලයකින් සමන්විත වනු ඇත. එය ආසන 5, 000කින් සමන්විත ප්‍රදර්ශණ ශාලාවකින්, බෝල් රූම් සහ භෝජන ශාලා ආදී පහසුකම් රැසකින් සමන්විත වෙයි. එය කලමණාකරනය කරනු ලබන්නේ John Keells සමාගම විසිනි. Cinnamon Life හෝටලය මෙම වසරේ තුන් වන කාර්තුවේදී පමණ විවෘත කිරීමට නියමිතය.
  • කාමර 113කින් හා කැසිනෝ ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් වලින් සමන්විත අති සුඛෝපභෝගී හෝටලයක්ද, වර්ග අඩි 500,000 සාප්පු හා විනෝද සංකීර්ණයක්ද City of Dreams පරිශ්‍රයට අයත් වනු ඇත.
  • City of Dreams Sri Lanka පරිශ්‍රයේ උඩම තට්ටු පහේ පිහිටා ඇතිකාමර 113කින් සමන්විත හෝටලය මෙල්කෝ සමාගමේ අධි සුඛෝපභෝගී හෝටල් සන්නාමය වන ‘Nuwa’ මගින් කළමනාකරණය වනු ඇත.
  • City of Dreams තුළ මෙල්කෝ සමාගම විසින් වර්ග අඩි 180,000ක පමණ අවකාශයක් කැසිනෝ ක්‍රීඩාව පවත්වාගෙන යෑම සඳහා බදු පදනම මත ලබා ගනු ඇත.
  • මේ සඳහා අවශ්‍ය සියලු මූලික එකඟතාවයන්ට මෙම ඒකාබද්ධ පරිශ්‍රයේ හිමිකරු හා John Keells සමාගමේ සම්පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Waterfront Properties සමග Melco සමාගම මේ වන විටත් එලඹ ඇත.
  • ඒ අනුව කැසිනෝ සහිත මෙම හෝටලයේ ක්‍රියාකාරකම් 2025 මැද භාගය වන විට ආරම්භ වනු ඇතැයි බලාපොරොත්තු වේ.

කැසිනෝ බලපත්‍රය: John Keells සමාගම තම නිවේදනය හරහා පැවසුවේ Melco සමාගමට සම්පූර්ණයෙන්ම අයිති ශ්‍රී ලංකාවේ සංස්ථාපිත අනුබද්ධිත ආයතනයක් විසින් කැසිනෝ ක්‍රීඩාව පවත්වා ගෙන යෑමට අවශ්‍ය බලපත්‍රයක් ශ්‍රී ලංකා ‍රජයෙන් ලබා ගෙන ඇති බවය. එම බලපත්‍රයේ වලංගු භාවය වසර 20කි.

මෙල්කෝ යනු කව්ද: හොං කොං බිලියනපති Lawrence Ho සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී වන Melco Resorts & Entertainment සමාගම ආසියාව පදනම් කරගත් කැසිනෝ හා හෝටල් ව්‍යාපාරයකි. ඔවුනට මැකාවූ, පිලිපීනය හා සයිප්‍රසයේ හෝටල් හා කැසිනෝ ව්‍යාපාරයන් ඇත. සුඛෝපභෝගී හෝටල් 13ක් ද, කාමර 6, 300ක් පමණද, වර්ග අඩි මිලියන 1.2කට වඩා වැඩි කැසිනෝ අවකාශයන්ද ඔවුන් සතු වේ.

2004 දී ආරම්භ කරන ලද Melco Resorts & Entertainment Limited සමාගම NASDAQ හි ලැයිස්තුගත කර ඇත.මෙමෙ සමාගමේ ප්‍රාග්ධනීකරණය 2024 අප්‍රේල් 29 වන දිනට ආසන්න වශයෙන් ඩොලර් බිලියන 2.9කි. වැඩකරන සේවකයින් සංඛ්‍යාව 20,000කට වඩා අධිකය.

Melco Resorts & Entertainment Limited සමාගමේ බහුතර හිමිකාරීත්වය Melco International Development Limited සතු වන අතර, එය හොං කොං කොටස් වෙළඳපොලේ ප්‍රධාන මණ්ඩලයේ ලැයිස්තුගත කර ඇති සමාගමක් වේ. එහි බහුතරය හිමිකාරීත්වය සභාපති, විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරියා වන Lawrence Ho හට හිමිය.

City of Dreams Sri Lanka කැසිනෝ ව්‍යාපාරය හරහා වසරකට ඩොලර් මිලියන 200-250ක් අතර ප්‍රමාණයක් උපයා ගැනීමට හැකි වනු ඇතැයි Melco Resorts ප්‍රධාන මූල්‍ය නිලධාරී Geoff Davis පවයි.

සංචාරක ව්‍යාපාරය:  City of Dreams Sri Lanka ශ්‍රී ලංකාව කෙරෙහි සංචාරක ආකාර්ෂණය තව දුරටත් වැඩි කිරීමට සමත් වනු ඇතැයි විචාරකයෝ පවසති. විශේෂයෙන්ම ධනවත් වීන ප්‍රජාවට කැසිනෝ ක්‍රීඩාව සඳහා පහසුකම් සලසන මැකාවූ මෙන්, නැගී එන ඉන්දීය මැද පන්තියට City of Dreams Sri Lanka හරහා ඔවුන් අපේක්ෂා කරන විනෝදාස්වාදය ලබා දීමට හැකි වෙනු ඇතැයි ඔවුන් පවසයි.