
ස්පා සහ සුවතා මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන නීති විරෝධී ගණිකා මධ්‍යස්ථාන හේතුවෙන් සමාජ රෝග පැතිරීමේ අවදානමක් ඇති අතර එම මධ්‍යස්ථානවල සෞඛ්‍ය නියාමනයක් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි.
ස්පා සහ සුවතා මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන නීති විරෝධී ගණිකා මධ්‍යස්ථාන හේතුවෙන් සමාජ රෝග පැතිරීමේ අවදානමක් ඇති බැවින් එම මධ්‍යස්ථාන සම්බන්ධයෙන් සෞඛ්‍ය නියාමනයක් සිදු කළ යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි.
ඇය මේ බව පැවසුවේ මේ සතියේදී කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඩයනා ගමගේ කලින් මොකද කිව්වේ?: ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු යැයි ඩයනා ගමගේ අමාත්‍යවරිය මින් පෙරදී ප්‍රකාශ කර තිබිණි. එම අදහස සම්බන්ධයෙන් සමාජයේ ආන්දෝලනයක් ද ඇති වූ අතර ලංකාව වැනි රටක එය විවාදයට තුඩු දෙන මාතෘකාවක් බව නොරහසකි. මේ වන විට ඇය පවසන්නේ, ගණිකා වෘත්තිය නැවැත්වීම කළ නොහැකි දෙයක් බැවින් අවම වශයෙන් සෞඛ්‍ය සම්බන්ධයෙන් නියාමනයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සිදු කළ යුතුය යන අදහසයි.
කොළඹ නාගරික ප්‍රදේශවල තත්ත්වය: තලවතුගොඩ, කොට්ටාව, අතුරුගිරිය, මාලඹේ, කෝට්ටේ, පිටකෝට්ටේ වැනි ප්‍රදේශවල සැලකූ විට ස්පා 600ක් පමණ ඇති බවත් සුවතාව වෙනුවෙන් කොපමණ පිරිසක් මෙම ස්ථාන වෙත යනවා දැයි තමන් නොදන්නා බවත් ඇය පැවසීය. ඇය පවසන්නේ, සත්‍ය තත්ත්වය පිළිබඳ සලකා බැලුවහොත් ස්පා නමින් පවත්වාගෙන යන බොහෝ ස්ථාන සුවතා මධ්‍යස්ථාන නොවන බවයි.
වෙනත් රටවල සුවතා මධ්‍යස්ථානවල සේවය කරන්නන් ඒ පිළිබඳව අධ්‍යාපනයක් ලැබූ තැනැත්තන් බවත් මෙම ස්ථාන එවන් ප්‍රමිතියකින් යුතු ඒවා නොවන බවත් ඇය පැවසීය.
නියාමනයක් අවශ්‍ය ඇයි?: ඉහත පැවසූ ආකාරයට නීති විරෝධී අයුරින් ගණිකා වෘත්තිය සිදු වනවා නම් කෙතරම් උත්සහ කළ ද එය නැවැත්වීමට අපහසු බවත් ලංකාවේ පමණක් නොව ලොව කිසිඳු රටක එය නැවැත්වීම අපහසු කාර්යක් බවත් රාජ්‍ය අමාත්‍යවරිය පැවසීය.
නමුත් ගැටලුව ඇත්තේ එම ස්ථානවල සේවයේ නියුතු පුද්ගලයින්ගේ සහ රටේ අනෙකුත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් බව ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම එම ස්ථානවල සේවයේ නියුතු පිරිස් රෝගවලින් තොරව කායික හා මානසික වශයෙන් සෞඛ්‍යසම්පන්නව සිටිනවා ද යන්න සොයා බැලීම සඳහා වෛද්‍ය පරීක්ෂණ සිදු කළ යුතු බවත් එය නියාමනයකට යටත් විය යුතු බවත් ඇය පැවසීය.
ඒඩ්ස් රෝගීන්ගේ ඉහළ යාමක්: 2023 වර්ෂයේදී 2022 වර්ෂයට සාපේක්ෂව 14%ක පමණ ප්‍රතිශතයකින් ඒඩ්ස් රෝගීන් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්ධන වැඩසටහන පසුගිය දා නිවේදනය කළේය. අවම වශයෙන් 695ක පමණ නව ඒඩ්ස් රෝගීන් පිරිසක් 2023දී වාර්තා වී ඇතැයි ඔවුන් පැවසීය.
රට රටවල ගණිකා වෘත්තියේ නීතිමය තත්ත්වය: ලොව පැරණිම වෘත්තිය ලෙස සැලකෙන ගණිකා වෘත්තිය සීමිත රටවල් ගණනක පමණක් නීතියෙන් පිළිගෙන ඇති අතර බොහෝ රටවල ගණිකා වෘත්තියේ නීතිමය තත්ත්වය ඉතා සංකීර්ණය. අසල්වැසි ඉන්දියාව සැලකූ විට එහි ද නීතිමය තත්ත්වය සංකීර්ණ වන අතර ගණිකා වෘත්තියේ නිරතවන්නන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා විය යුතු බවට ඉන්දීය අධිකරණ නඩු තීන්දු ලබා දී ඇත. එම වෘත්තිය අපරාධමය වරදක් සේ නොසැලකුණත් ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහය අනුව ගණිකා වෘත්තිය සම්බන්ධයෙන් දඬුවම් ලැබිය හැකි වරදවල් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
ලංකාවේ තත්ත්වය ද එසේ සංකීර්ණ වන අතර ව්‍යවස්ථානුකූලව ගණිකා වෘත්තිය මෙරට නීතිගත කර නොමැත. අයාල ආඥා පනත වැනි පනත් යටතේ අත්අඩංගුවට ගැනීම් ද සිදු වන අතර ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමට මෙරට තුළ නීතියෙන් අවසර හිමි නොවේ. නමුත් වෘත්තියේ යෙදෙන්නන් සම්බන්ධ නීතිමය තත්ත්වය පැහැදිලි නැත.
නවසීලන්තය, ඩෙන්මාර්කය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, ග්‍රීසිය වැනි රටවල ගණිකා වෘත්තිය නීතිගත කර ඇත. ඔස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශවල ගණිකා වෘත්තිය නීතිගත කර ඇති අතර සමහර ප්‍රදේශවල එයට නෛතික පිළිගැනීමක් නොමැත.