කාලීන
පාරේ ඉන්න යාචකයින් අවම කර ගන්නා හැටි පොලිසිය කියයි..

ලංකාවේ මහා මාර්ගවල රථවාහන විදුලි සංඥා (traffic lights) අසල සිට සිඟමන් යදින යාචකයින් අවම කර ගැනීමට නම් වාහනවල ගමන් කරන පුද්ගලයින් මෙම යාචකයින් හට මුදල් දීමෙන් වැළකී සිටිය යුතු බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

ලංකාවේ මහා මාර්ගවල රථවාහන විදුලි සංඥා (traffic lights) අසල සිට සිඟමන් යදින යාචකයින් අවම කර ගැනීමට නම් වාහනවල ගමන් කරන පුද්ගලයින් මෙම යාචකයින් හට මුදල් දීමෙන් වැළකී සිටිය යුතු බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

ඉපැයීම්: මෙම යාචකයින් කියා ගන්නා සමහර පුද්ගලයින් දිනකට රුපියල් 20,000කට අධික බදු රහිත මුදලක් සිඟමන් යැදීමෙන් උපයා ගන්නා බව පොලිසිය පවසයි.

තුවාල හෝ විවිධ ආබාධ සහිත පුද්ගලයින්, කුඩා දරුවන් වඩා ගත් කාන්තාවන්, බඩ දරු කාන්තාවන්, මහලු පුද්ගලයින් ආදී පිරිස් මෙසේ මහා මාර්ගවල රථවාහන විදුලි සංඥා අසල සිඟමනේ යෙදීම ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම කොළඹ ප්‍රදේශයේ සුලභ දසුනකි.

ශ්‍රී ලංකා පොලිසියට අනුව මෙය පැහැදිලිවම ව්‍යාපාරයකි.

“මහජනතාව සල්ලි දෙන එක නැවැත්තුවොත් යාචකයෝ අඩුවෙන හැටි බලාගන්න පුළුවන් වෙයි. අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කළත් ඔවුන් නැවත මේ ව්‍යාපාරයට එන්නේ මිනිස්සු දෙන නිසයි,” මෙසේ පවසන්නේ රථවාහන අංශයේ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩයි.

නීතියේ සිදුරු: පොලිසියට අනුව දැනට පවතින නීතිය යටතේ මෙවන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම මගින් මෙම ප්‍රශ්නය විසඳාගත නොහැක.

“පොලිසියට කළ හැක්කේ යාචකයන් රඳවාගෙන උසාවියට ඉදිරිපත් කිරීමය. එහිදී අධිකරණය නියම කරන දඩයක් ගෙවා සතියක් ඇතුළත නැවත මොවුන් සිඟමන් යැදීමට මහ පාරට බහිනවා,” රථවාහන අංශයේ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මෑතකදී කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

ඔහු තවදුරටත් කීවේ, මෙම පුද්ගලයින් පුනරුත්ථාපනයට යොමු කළ ද ඉන් පලක් නැති බවයි.

“අපි ඔවුන්ව පුනරුත්ථාපනය කර දිනකට රුපියල් 2,000-3,000ක රැකියා ලබා දීමට උත්සාහ කළා. නමුත් ඔවුන් අපෙන් අසන්නේ ‘අපි හිඟාකමින් දිනකට රුපියල් 15,000ක් 20,000ක් උපයන විට අපට එය කිරීමට අවශ්‍ය ඇයි කියලා,” යැයි හපුගොඩ පැවසීය.

“අපි මෑතකදී 94 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. නමුත් ඔවුන් රැඳවුම් භාරයේ දිගු කලක් තබා ගන්න බැහැ. ඔවුන්ව බොහෝ අවස්ථාවලදී දඩයක් ගෙවා ඇප මත මුදා හරිනවවා. ඊට පස්සේ ඔවුන් ආපහු පාරට එනවා,” ඔහු තවදුරටත් පැවසීය.

බොහෝ දෙනෙකුට ඉඩම් හා දේපළ තිබෙන බව ද සොයාගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

අවදානම: වසර 120 පමණ පැරණි ලංකා ඔටෝමොබයිල් සංගමයට අනුව (CAA) රථවාහන විදුලි සංඥා අසල හිඟමන් යදින පුද්ගලයින් නිසා රථවාහනවල ගමන් කරන පුද්ගලයින්ට ඇතිවන අපහසුතාවයන්ට අමතරව, රථවාහන අනතුරු ඇතිවීමේ අවදානමක් ද පවතී.

තව ද මෙම පිරිස් හට සිඟමන් ලබා දීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන් විසින් තියුණු දෙයකින් මෝටර් රථ සීරීම වැනි ක්‍රියාවන්හි නිරත වන අවස්ථා ද වාර්තා වී ඇත.