විනිවිද
කරන්ට් බිල ගෙවන්න කල් ගන්නවා නම් මේ ගැනත් දැනගෙන ඉන්න

විදුලි බිල්පත් ගෙවීම නියමිත දිනට සිදු කිරීමට අපොහොසත් වන විට එම ප්‍රමාදය සඳහා අමතර මුදලක් අදාළ බිල්පතට එක් කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය කළමනාකාර නිහාල් ප්‍රනාන්දු පවසයි.

විදුලි බිල්පත් ගෙවීම නියමිත දිනට සිදු කිරීමට අපොහොසත් වන අවස්ථාවල එම ප්‍රමාදය වෙනුවෙන් අමතර මුදලක් අදාළ බිල්පතට එක් කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය කළමනාකාර නිහාල් ප්‍රනාන්දු පවසයි. 

Neon media කළ විමසීමකට පිළිතුරු වශයෙන් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර එලෙස අමතර මුදලක් අය කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයා දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් ද ක්‍රියාත්මක බව පැවසීය.

යම් විදුලි පාරිභෝගිකයෙකු දින 30කට වඩා කල් ගනිමින් සිය බිල්පත ගෙවීම ප්‍රමාද කරයි නම් පාරිභෝගිකයාව sms පණිවුඩයක් මගින් ඒ පිළිබඳ දැනුවත් කර එම ප්‍රමාදය වෙනුවෙන් අමතර ගාස්තුවක් එක් කරන බව දැනුම් දෙන බව ඔහු පැවසීය.

පසුබිම: නව විදුලි සම්බන්ධතාවක් ලබා ගැනීමේදී පාරිභෝගිකයන්ගෙන් ලංකා විදුලිබල මණ්ඩලය තැන්පතු මුදලක් අය කර ගනී. එම තැන්පතුව සඳහා පොලියක් විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයාට ගෙවිය යුතු අතර එය අය කර දෙන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගික සංගමය විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණි. 

පෙත්සම්කාර පාර්ශවය පැවසුවේ, 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 28 (3) වගන්තියට අනුව නව විදුලි සම්බන්ධතා සඳහා පාරිභෝගිකයාගෙන් අය කරගන්නා තැන්පතු මුදලට අදාළ පොලියක් විදුලිබල මණ්ඩලය විසින් ගෙවිය යුතු බවයි.

එම පෙත්සම විභාගයේදී පෙත්සම්කාර පාර්ශවය ඉදිරිපත් කළ කරුණු පිළිගනිමින් ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ 2023 වසර සඳහා විදුලි පාරිභෝගිකයන්ට හිමි පොලිය ගෙවීමට තමන් එකඟ වන බවයි. ඒ අනුව 2023 වසර සඳහා 11.67%ක වාර්ෂික පොලී මුදලක් පාරිභෝගිකයන්ට ගෙවීමට විදුලිබල මණ්ඩලය එකඟ විය.

2024 අප්‍රේල් 02 වන දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ, 2023 වසරේ නව විදුලි සබඳතා සඳහා අයකරගත් තැන්පතු මුදල් සඳහා රුපියල් කෝටි 112කට ආසන්න මුදලක් පාරිභෝගිකයන් වෙත ගෙවා ඇති බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක මූල්‍ය කළමනාකාරවරයාගෙන් අප කළ විමසීමේදී ඔහු පැවසුවේ, මින් පෙර නව විදුලි සබඳතා තැන්පතුව සඳහා පොලියක් විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයාට නොගෙවූ අතර විදුලි බිල ගෙවීමට ප්‍රමාද වූ විට පාරිභෝගිකයාගෙන් පොලියක් අය කර ගැනීමක් ද නොකළ බවයි. නමුත් මේ වන විට තැන්පතු මුදලට පොලියක් ගෙවීමේ කටයුතු සමග බිල්පත් ප්‍රමාදය සම්බන්ධයෙන් ද පොලියක් අය කරගැනීම සිදු කරන බව ඔහු පැවසීය.

අදාළ ප්‍රමාද ගාස්තුව පිළිබඳ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ, “deposit එකට ගෙවන rate එක වගේම rate එකක් තමයි මේකටත් යන්නේ,” යනුවෙනි. 

විශේෂඥ අදහස්: මේ පිළිබඳව බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටියගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයන් වෙනුවෙන් සහන දීම පිළිබඳවම සියලු දෙනා බලාපොරොත්තු වන බවයි. නමුත් විදුලි නිෂ්පාදනය සඳහා වන වියදම ඉහළ අගයක් ගන්නා අතර බිල්පත් ගෙවීමට පාරිභෝගිකයා ප්‍රමාද වීමේදී එය විදුලිබල මණ්ඩලයේ ක්‍රියාකාරීත්වයට බලපෑමක් කරන බවයි. 

“අපි මෙහෙම හිතමු, අපි බැංකුවේ ලක්ෂයක් දානවා. ඊට පස්සේ අපි බැංකුවෙන් ලක්ෂයක ණයක් ගන්නවා. අපි ණය වාරිකය ගෙවන්න පරක්කු වුණොත් බැංකුව අපිට පොලී අධිභාරයක් (surcharge) දානවා. දාලා අපි දාපු ලක්ෂෙට වෙනම තැන්පතු පොලිය ගෙවනවා. දැන් විදුලිබල මණ්ඩලයට වෙලා තියෙන්නේ අර තැන්පතුව තිබ්බ එකට පොලිය ගෙවන්න කියලා මහජන උපයෝගිතා කොමිසමයි, ජනතාවයි, NGOයි කෑකෝ ගහනවා, නමුත් කවුරුත් කියන්නේ නැහැ බිල් ගෙවන්න පරක්කු වෙන අයත් ගාණක් ගෙව්වට කමක් නෑ කියලා. විදුලිබල මණ්ඩලයේ කොයි තරම් වැරදි තිබුණත් ගිණුම් පැත්තෙන් සලකා බැලුවොත් ඔය කරුණු දෙකම වෙන්න ඕන,” යනුවෙන් ඔහු පැවසීය.

තව ද ඔහු පැවසුවේ විදුලිය නිෂ්පාදනය සම්බන්ධයෙන් ගත්විට පහත කරුණු ද තෘප්ත විය යුතු බවත් එසේ නැතහොත් විදුලි නිෂ්පාදන වියදම් අධික වීම ආදී කරුණු නිසා පාරිභෝගිකයාට සහන සැලසීම ද අපහසු වන අතර මණ්ඩලය ලාබ ලැබීම ද අපහසු කරුණක් බවයි.

  • තැන්පතුව සඳහා පොලිය ගෙවීම
  • බිල්පත ගෙවීමට පරක්කු වුවහොත් ඊට අධිභාරයක් ගෙවීමට එකඟ වීම
  • විදුලි නිෂ්පාදන වියදම අඩු කිරීම
  • නිෂ්පාදන වියදම පාරිභෝගිකයාට යොමු කිරීම සඳහා නියමිත කාල වකවානුවලදී විදුලිබල පනතට අනුව විදුලි බිල අඩු වැඩි කිරීම