ආර්ථික
විකල්පවලට ඇහුම්කන් දෙන්න සූදානම්; නමුත් ඒවා යථාර්ථවාදී විය යුතුයි – IMF

ලංකාවේ ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ විකල්ප අදහස්වලට සවන් දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කැමැත්තෙන් සිටින බව ඔවුන් පවසයි.

ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ විකල්ප අදහස්වලට සවන් දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) කැමැත්තෙන් සිටින අතර ඒවා යථාර්ථවාදී විය යුතු බව එම අරමුදලේ නිලධාරීන් පවසයි. 

තව ද ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ කාලරාමුව තුළ සාක්ෂාත් කරගත හැකි ආකාරයේ විකල්ප යෝජනා විය යුතු බව ද ඔවුන් අවධාරණය කළේය.

අනතුරු ඇඟවීමක්: කෙසේ නමුත් ලංකාව අතුරේ යනවා මෙන් (knife-edged) අවදානමක් සහිත සියුම් ගමනක යෙදෙමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බ්‍රවර් පැවසීය.  එබැවින් එයින් යම් මොහොතක ඉවතට ගියහොත් අතිශයින් ගැටලුකාරී තත්ත්වයකට රට ඇද වැටිය හැකි බව ඔහු ඊයේ දිනයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය.

 

බ්‍රවර් පවසන්නේ, ප්‍රතිසංස්කරණ තිරසර නොවන්නේ නම් ශ්‍රී ලංකාව නැවතත් අර්බුදයකට යා හැකි බවයි.

“අපි කැමතියි වැඩසටහනේ ඉලක්ක කරා ළඟා විය හැකි විකල්ප යෝජනාවලටත් ඇහුම්කන් දෙන්න. ඒවා වැඩසටහනේ කාලරාමුව තුළ සාක්ෂාත් කරගත හැකි විය යුතු වගේම යථාර්ථවාදී වෙන්න ඕන,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරණය නිසා මොකක් වෙයිද?: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමරිකානු ඩොලර් බිලියන 3ක ණය මුදල සම්බන්ධයෙන් වන දෙවන සමාලෝචනය සඳහා එහි නිලධාරීන් රජයේ, විපක්ෂයේ සහ සිවිල් සමාජ සංවිධානවල නිලධාරීන් පසුගිය සති කිහිපයේදී හමු විය.

ඒ අතර ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (SJB) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර ඇති කර ගෙන තිබෙන ගිවිසුම සමාලෝචනය කිරීමට ඡන්ද පොරොන්දුවක් ලබා දී ඇති ජාතික ජන බලවේගය ඇතුළු කණ්ඩායම් රැසක් විය.

බෲවර් පැවසුවේ එම සාකච්ඡාවේදී යෝජනා බොහොමයක් ලැබුණ බවයි.

“මැතිවරණය සම්බන්ධයෙන් අපිට ගොඩක් වෙනස් යෝජනා අහන්න ලැබුණා,” යැයි දෙවන සමාලෝචන වැඩසටහන අවසානයේදී ඔහු මාධ්‍යවේදීන්ට පැවසීය.

“අපේ ප්‍රධානම දේ වැඩසටහනේ අරමුණුවලට ළඟා වීමයි. ඒක ශ්‍රී ලංකාවට අර්බුදයෙන් ගොඩ එන්න අවස්ථාවක් ලබා දෙයි. ඒ මාර්ගය පිහි දාරයක ගමන් කරනවා වගේ එකක්.”

ශ්‍රී ලංකාව මේ වසර අවසානයේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බැවින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය IMF ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම යම් පමණකට පමා කළ හැකි බව රජයේ බලධාරීන් පවසා ඇත.

බදු නිසා වුණ දේ: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP), ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය ඇතුළුව බොහෝ දේශපාලන පක්ෂ කියන්නේ ජනතාව පෙළන බදු බර ඔවුන්ගේ රජයක් යටතේ අඩු කරන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ ආර්ථික ප්‍රතිසංස්කරණ ලාංකිකයන් මත දැරිය නොහැකි බදු බරක් පටවා ඇති අතර ඒ නිසා ඔවුන් සිටින්නේ දුෂ්කර තත්ත්වයකය.

අධික බදු හේතුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව මහජනයා  අතර අප්‍රසාදයට ලක්ව ඇති බව සමීක්ෂණ කිහිපයකින් අනාවරනය කර ඇත.