
ඇ.ඩො.මිලියන 510ක ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සතු ණය රජයට පවරා ගෙන හැකි ඉක්මනින් බදු ගෙවන ජනතාවට බරක් නොවන ලෙස විකුණා දමන්නැයි ඇඩ්වකාටා ආයතනය කියයි.
ලංකාවේ බදු ගෙවන ජනතාවට තව දුරටත් බරක් වීමට පෙර ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම හැකි ඉක්මනින් විකිණීමට කටයුතු කළ යුතු යැයි මෙරට චින්තන පර්ෂදයක් (think tank) වන ඇඩ්වකාටා (Advocata) ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඇමතිවරයාගේ ප්‍රකාශය: වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෑතකදී පැවසුවේ, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම විසින් රජයට අයත් බැංකු වන ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ණයට ගත් රුපියල් මිලියන 210 සහ රුපියල් බිලියන 41.4ක මුදල රජයට පවරා ගන්නා බවය.
ඇයි විකිණිය යුත්තේ?: “ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් බංකොලොත් වී ඇත. කිසිඳු ගැනුම්කරුවෙකු එවන් ණය ප්‍රමාණයක් සහිත පාඩු ලබන ගුවන් සේවයක් මිල දී ගැනීමට ඉදිරිපත් නොවනු ඇත. එම නිසා එලෙස පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් විකිණීමට හැකි වන පරිදි බදු ගෙවන්නන් මත පැනවෙන බදු බර ද සමග අදාළ ණය මුදල් රජය විසින් පවරා ගත යුතුය. එය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ අත්‍යාවශ්‍යම අංගයකි,”යනුවෙන් ඇඩ්වකාටා ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
තව ද රටේ බදු ගෙවන ජනතාවට බරක් වන අනාගතයේ විය හැකි පාඩු වළක්වා ගැනීම සඳහා රජය හැකි ඉක්මනින් එම සමාගම විකිණිය යුතු බවට ද නිවේදනයේ දැක්වේ. එය ඉක්මනින් විකුණා නොදැමුවහොත් එය භයානක මූල්‍ය පූර්වාදර්ශයක් ලබා දිය හැකි බව ද නිවේදනයේ සඳහන්ය. එය රජය සතුව පවතින තාක් කල් අඛණ්ඩව පාඩු ලබන අතර එවිට දිගින් දිගටම ණය සමුච්චය වීම ද පවතිනු ඇත.
පසුගිය වර්ෂයේ පාඩුව: 2023 වර්ෂයේදී ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම රුපියල් බිලියන 73.6ක පාඩුවක් ලැබූ අතර එය අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදලින් දළ වශයෙන් 40%ක අගයක් වන බව නිවේදනයේ දැක්වේ.
ඉන්දියාවේ තත්ත්වය: ඉන්දියාවට ද ඔවුන්ගේ රජයට අයත්ව තිබූ එයාර් ඉන්දියා ගුවන් සේවය විකුණා දැමීමේදී මේ ආකාරයේම ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදු වූ අතර එම ගුවන් සේවය ද ඩොලර් බිලියන ගණනක ණයක් ලබා ගෙන තිබිණි. එය විකිණීමට පෙර ඇමරිකානු ඩොලර් බිලියන 6ක පමණ මුදලක් (එවකට හිඟ ණය මුදලෙන් 75%ක්) රජයට පවරා ගත් අතර අය එමගින් ආයෝජකයාට වඩාත් හිතකර තත්ත්වයක් ඇති කළේය.
ශ්‍රී ලංකන් එයාර්ලයින් හි ඉහත සඳහන් කළ ඇමරිකානු ඩොලර් මිලියන 510ක ණය මුදලට අමතරව ඉන් පෙර ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක් වන අතර එය තවදුරටත් රජයට දරාගත නොහැකි විශාල බරක් බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.