
ණය පැහැරහරින්නන් කණ්ඩායමක බලපෑම නිසා පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමේ තැනකට කැබිනට් මණ්ඩලය පත් වී ඇතැයි ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය පවසයි.
ණය පැහැරහරින්නන්ගෙන් සැදුම් ලත් කුඩා කණ්ඩායමක් විසින් සිදු කරන අධික බලපෑම නිසා පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමේ තැනකට කැබිනට් මණ්ඩලය තල්ලු වී ඇතැයි ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එමගින් ආර්ථිකයේ හදවත සහ ජීවනාලිය ලෙස ක්‍රියා කරන බැංකු අංශයට දීර්ඝ කාලීන සෘණාත්මක බලපෑමක් ඇති කරනු ඇති බව එම නිවේදනයේ සඳහන් ය.
අමාත්‍ය මණ්ඩල තීරණය: කැබිනට් මණ්ඩලය පරාටේ ද ඇතුළුව බැංකු විසින් ණය පියවා ගැනීමට භාවිතා කරන නීති රීති හදිසියේ සංශෝධනයන්ට ලක් කිරීමට ගන්නා උත්සාහය තම සංගමය නියෝජනය කරන දේශීය මෙන්ම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන විදේශීය බැංකු ද කම්පනයට පත් කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
එම සංගමය කියා සිටින්නේ ණය පියවා ගැනීමේ කටයුතු බැංකු විසින් අධිකරණ ක්‍රියාවලීන් හරහා දිගටම ක්‍රියාත්මක කරනු ලබනු ඇති බවත්, පරාටේ ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමෙන් උකස් කළ වත්කම් සුරැකෙන්නේ නැති බවත් ය.
“පරාටේ ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපාදන ණය අයකර ගැනීමේ ක්‍රියාවලියේදී බැංකුවලට තිබෙන එක් විකල්පයක් පමණක් වන අතර එය ණය නැවත අය කර ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රමාදය අවම කරයි,”– ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය.
නීති සංශෝධනය: එම සංගමය තව දුරටත් කියා සිටින්නේ පවතින නීති පාර්ලිමේන්තුව විසින් සංශෝධනය කරන තුරු, බැංකු විසින් උසාවියට යාමට පෙර, සුදුසු අවස්ථාවන්හිදී, අවසාන විසඳුම ලෙස පරාටේ ප්‍රතිකර්මය භාවිත කරනු ඇති බවය.
කිසියම් දේපළක් පරාටේ ක්‍රියාවලියට ලක් කිරීමේදී ඒ සඳහා බැංකු අධ්‍යක්ෂ මණ්ඩල අවසරය ලබා ගත යුතුය. එසේම එම දේපළ වෙන්දේසිය සම්බන්ධයෙන් මාධ්‍ය තුළ දැන්වීම් පළ කිරීම අවශ්‍ය වේ. එය කිසිදු බැංකු නිලධාරියකුගේ අභිමතය පරිදි ක්‍රියාත්මක කළ හැකි ක්‍රියාවලියක් නොවේ.
පරාටේ ක්‍රියාවලිය අත්හිටුවීම නිසා පහත ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය විය හැකි බවට බැංකුකරුවෙන්ගේ සංගමය අනතුරු අඟවයි.
තව ද අමාත්‍ය මණ්ඩලය විසින් සිදු කර ඇති ඒකපාර්ශ්වික මැදිහත්වීම අනවශ්‍ය බව බැංකු විශ්වාස කරන අතර එම තත්ත්වය නිසා රටේ ආර්ථික පුනර්ජීවයට සහාය වීම සඳහා ඔවුන්ගේ කාර්යභාරය ඉටු කිරීමේදී බැංකු සතු ශක්තිය දුර්වල වනු අති බව ඔවුන්ගේ අදහස් වේ.