
ඉන්දියාවේ අදානි සමූහය විසින් ඉදි කිරීමට යෝජිත සුළං බල ව්‍යාපෘතියක විදුලි ඒකකයක් මිල දී ගනු ලබන්නේ රු.30 අඩු මුදලකට යැයි බලශක්ති අමාත්‍යවරයා පවසයි.
ඉන්දියාවේ අදානි සමූහය විසින් ශ්‍රී ලංකාවේ ඉදි කිරීමට යෝජිත සුළං බල ව්‍යාපෘතියක විදුලි ඒකකයක් මිල දී ගැනීමේ මිල, තරගකාරී ටෙන්ඩරයන්ගෙන් තොරව ලබා දෙන අනෙකුත් පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘතිවලට ලබා දෙන මිලට වඩා අඩු බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බලශක්ති මිල දී ගැනීමේ ගිවිසුමකට (power purchase agreement) මේ වන තෙක් එළඹ නැතත්, එමගින් නිපදවන විදුලි ඒකකයක් සඳහා ගෙවීමට යෝජිත ඇ.ඩොලර් ගාස්තුවට සමාන රුපියල් මුදල රු.27.65 බව විජේසේකර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අද කියා සිටියේය. තව දුරටත් ඔහු පෙන්වා දුන්නේ එය තරගකාරී ටෙන්ඩරයන්ගෙන් තොර ව්‍යාපෘති (unsolicited projects) සම්බන්ධයෙන් කමිටුවක් විසින් තීරණය කරනු ලබන මිල ගණන් (feed-in tariffs) වලට ද වඩා අඩු බවය.
“අපි දැන් දේශීය සමාගම් සඳහා සූර්ය බලශක්තියට රුපියල් 37ක් සහ සුළං බලය සඳහා රුපියල් 43ක් ලබා දෙනවා. රුපියල් 30ට අඩුවෙන් ලැබෙනවා නම් ඒක වාසියක්,”විජේසේකර අමාත්‍යවරයා අදානි සුළං ව්‍යාපෘතියට ගෙවීමට යෝජිත මිල සාධාරණය කරමින් පැවසීය.
ගෙවන්නේ ඩොලර්වලින්: අදානි සමග එළඹීමට නියමිත බලශක්ති මිල දී ගැනීමේ ගිවිසුමට අනුව මෙම ව්‍යාපෘතියෙන් නිපදවනු ලබන විදුලිය සඳහා මුදල් ගෙවනු ලබන්නේ ඇමරිකානු ඩොලර්වලිනි. ඒ අනුව ඒකකයක් සඳහා ගෙවීමට යෝජිත මුදල වන්නේ ඇ.ඩො. 0.897කි. රුපියල් නොවන විදේශ මුදලකින් විදුලිය සඳහා ගෙවීම් කිරීමට යෝජිත ප්‍රථම අවස්ථාව මෙය වේ.
අවදානම: බලශක්ති ක්ෂේත්රයේ විශේෂඥයින්ට අනුව මෙහි ඇති අවදානම වන්නේ ඉදිරියේදී කිසියම් අවස්ථාවක ඇ.ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වුවහොත් යෝජිත මුදලට වඩා වැඩි රුපියල් ප්‍රමාණයක් ඒකකයක් සඳහා ගෙවීමට සිදු වීමයි.
තරගකාරී ලංසු ක්‍රියාවලියෙන් ඉවත්වීම: විශේෂයෙන්ම ලංකා විදුලිබල මණ්ඩල (ලංවිම) නීතිය සංශෝධන කර තරගකාරී ටෙන්ඩරයන්ගෙන් තොරව විශාල විදුලි ජනන ව්‍යාපෘති සඳහා අවසර දීමෙන් පසුව දිගුකාලීන බලශක්ති මිල දී ගැනීමේ ගිවිසුම් බෙහෙවින්ම මතභේදාත්මක තත්ත්වයක පවතී.
තරගකාරී ටෙන්ඩර් හරහා ඉදි කරනු ලැබූ ව්‍යාපෘති තුළින් ඉතා අඩු මුදලට විදුලිය මිල දී ගැනීමට ගිවිසුම් ගත වීමට හැකි වී ඇති බව ලංවිම සතු දත්තයන් පිරික්සා බැලූ කල පෙනී යයි.
අධික මිල: මේ වන විට විදුලි ඒකකයක් පාරිභෝගිකයා වෙත ලබා දීමේ වියදම රු.48ක් ලෙස ගණනය කර ඇත. රු.11ක ස්ථාවර වියදමකින් ද (fixed cost), රු.5ක ණය ගෙවීම් සඳහා යන වියදමකින් ද (finance cost), රු.32ක විචල්‍ය වියදමකින් ද (variable cost) මෙය සමන්විතය. උත්පාදන සංකලනය (generation mix) මත තීරණය වන විචල්‍ය වියදම අනෙකුත් ආසියානු හා අග්නිදිග ආසියානු රටවල් හා සසඳා බැලිම්දී ශ්‍රී ලංකාවේ ඉතා ඉහළය. මේ නිසා වර්තමානයේ විදුලිය සඳහා වැඩිම මිලක් සමස්ත ආසියාව තුළම ගෙවනු ලබන්නේ ශ්‍රී ලාංකික පාරිභෝගිකයා විසිනි.