කාලීන
කැසිනෝ නියාමන අධිකාරියට බාලගිරි දෝෂය

කැසිනෝ ඇතුළු සූදු ව්‍යාපාරවල හිඟ බදු අය කර ගැනීමේ කටයුතු සඳහා නියාමන අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය නීති සම්මත කර ගැනීමට මේ වන තෙක් රජය අපොහොසත්ව ඇත.

කැසිනෝ ඇතුළු සූදු ව්‍යාපාරවලින් අය විය යුතු හිඟ බදු අය කර ගැනීමට හා මෙවැනි ව්‍යාපාර සඳහා විදේශ ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට ඉතාමත් වැදගත් වන නියාමන අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය නීති සම්මත කර ගැනීමට මේ වන තෙක් රජය අපොහොසත්ව ඇත.

කඩවුණු පොරොන්දුව: කැසිනෝ ආදී සූදු නියාමන අධිකාරියක් පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දින වන විට ස්ථාපිත කරන බවට රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට මුදල් අමාත්‍යාංශය විසින් පොරොන්දුවක් ලබා දී තිබිණි.නමුත් මේ වන තෙක් එය සිදු නොවීම සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව මේ සතියේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂකවරයා ගෙන්වා සිය අප්‍රසාදය පළ කර ඇත.

වර්තමාන නීති තත්ත්වය: සූදු ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ නියාමනය කරන ලද ක්‍රියාකාරකමක් වන අතර එය 1889 අංක 17 දරන සූදු ආඥා පනත (සංශෝධිත පරිදි), 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනත සහ ඔට්ටු ඇල්ලීම සහ ක්‍රීඩා කිරීමේ බද්ද, 1983 අංක 40 (සංශෝධිත පරිදි) මගින් පාලනය වේ.

කැසිනෝ නියාමනය කිරීමේ පනත 2010 දෙසැම්බර් 17 වන දින සහතික කළ ද පනත යටතේ කිසිඳු රෙගුලාසි නිකුත් කිරීමක් සිදුව නොතිබිණි. මේ තත්ත්වය තුළ 2022 අගෝස්තු දක්වා කැසිනෝ ක්‍රියාත්මක වීම නියාමනය නොවී පැවතිණි. වර්තමාන ජනාධිපති හා මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම රෙගුලාසි 2022 අගෝස්තු මස ප්‍රකාශයට පත් කළ අතර පනත සම්මත වීමෙන් අවුරුදු 12කට පසු එය ප්‍රථම වතාවට බලාත්මක විය.

නියාමන අධිකාරියක අවශ්‍යතාව: ඉහත සඳහන් රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමත් සමගම රජය මෙම පනත යටතේ නව කැසිනෝ බලපත්‍ර නිකුත් කිරීමට අපේක්ෂා කරයි. එසේම දැනට රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතින කැසිනෝ ව්‍යාපාරයන්ගෙන් රජයට අය විය යුතු සියලු බදු මේ වන විට අය වී නොමැත. එසේම රට තුළ නව කැසිනෝ ව්‍යාපාර සඳහා අවසර ලබා දෙන්නේ නම් මෙවන් කර්මාන්ත නිසා සාමාන්‍යයෙන් පැන නැගිය හැකි නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමටත් නියාමන අධිකාරියක අවශ්‍යතාව පැන නගී.

නවතම පොරොන්දුව: මුදල් අමාත්‍යාංශ නිලධාරීන් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට මේ සතියේදී දී ඇති නවතම පොරොන්දුව වන්නේ නියාමන අධිකාරියක් ස්ථාපනය කිරීමට අවශ්‍ය නීති ගෙන ඒම 2024 මාර්තු 31 වන දා වන විට නිම කරන බවයි.

කෙසේ නමුත් ඔන්ලයින් පනත්, විකාශන පනත් හා මාධ්‍ය නියාමන අධිකාරී පනත් ගෙන ඒමට රජයට ඇති හදිසිය මෙවැනි අතිශයින් වැදගත්, රාජ්‍ය ආදායම වැඩි කිරීමට ඍජුවම දායක වන නීති ගෙන ඒමට නැත්තේ ඇයි ද යන්න බොහෝ දෙනාගේ විමතියට හේතු වී ඇත.