
චීන මුදල් හුවමාරුව භාවිතයට ගන්න තවම අදහසක් නොමැති බව ශ්‍රි ලංකා මහ බැංකුව පවසයි.
2021 මාර්තු මාසයේ සිට ලංකාවට චීනය සමග ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක පමණ වටිනාකමකින් යුත් යුවාන් මුදල් හුවමාරු රේඛාවක් (currency swap line) ඇති අතර එය භාවිතයට ගැනීම සම්බන්ධයෙන් අවශ්‍යතාවක් තවමත් නොමැති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යටතේ විදෙස් මුදල් සංචිත ගොඩනංවා ගැනීමේ ඉලක්කයක් තමන් සතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මුදල් සංචිත පිළිබඳ තත්ත්වය: 2022 වර්ෂයේදී ශ්‍රී ලංකාව ණය පැහැර හැරීම් හේතුවෙන් ආර්ථික වශයෙන් අවාසනාවන්ත තත්ත්වයකට ඇද වැටිණි. තත්ත්වය එසේ තිබියදීත් 2023 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක පමණ ලංකාවේ විදෙස් සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 4.4ක් දක්වා ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව සමත් විය.
සංචිත ඉහළ යාමට හේතු වූ කරුණු:
ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක් වටිනාකමකින් යුත් චීන යුවාන් මුදල් හුවමාරු රේඛාව 2021 මාර්තු මාසයේ සිට සංචිතවලින් බාහිරව ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවතිණි. නමුත් එය එම වර්ෂයේම දෙසැම්බර් මාසයේ සිට නිල විදෙස් සංචිතවලට ඇතුළත් කරගත් අතර එසේ කළේ සංචිතවල ප්‍රමාණය විශාල කර ගැනීමටය.
අදාළ මුදල් හුවමාරු රේඛාව භාවිතයට ගත නොහැකි වුණේ ඇයි?: ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක වටිනාකමකින් යුත් මෙම චීන මුදල් හුවමාරු රේඛාව ලංකාවට ලැබුණ ද එය භාවිතයට ගත නොහැකි වූයේ ඊට අදාළව පැවති කොන්දේසි හේතුවෙනි.
“අපි ඇත්තෙන්ම තවම එහි උපයෝගීතාව ගැන සාකච්ඡා කරන්න ගත්තෙ නැහැ. සංචිත මට්ටම තවදුරටත් ඉහළ යන විට අපිට අවශ්‍ය නම් ඒ ගැන කතා කරන්න පුළුවන්. අපි විදෙස් සංචිත ගොඩනංවලා තිබෙන නිසා අපි හිතන්නේ නැහැ මේ මුදල් හුවමාරුව අපි භාවිතයට ගන්න ඕන කියලා,” යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පසුගියදා පැවසීය.
මහ බැංකු අධිපතිවරයාට අනුව චීනය සමග යුවාන්වලින් වෙළඳ ගනුදෙනු කිරීමේදී අදාළ මුදල් හුවමාරු පහසුකම ලංකාවට හිමි වන අතර ලංකාව සමග වෙළඳ කටයුතු දිරිමත් කිරීමට අවශ්‍ය යැයි චීනයට හැඟේ නම් එහි භාවිතය පිළිබඳ අවබෝධතාවකට පැමිණිය හැකි බව ද ඔහු පැවසීය.
“මේ මොහොතේ අපට අවශ්‍යතාවක් නැහැ මේ මුදල් හුවමාරුව භාවිතයට ගන්න. යම් අවස්ථාවක ඒ ගැන අවශ්‍යතාවක් පැන නැගුණොත් අපිට පුළුවන් ඒ ගැන සලකා බලන්න,” යැයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
2023 අවසානයේදී යුවාන් හුවමාරුව ද ඇතුළත්ව ශ්‍රී ලංකාවේ නිල සංචිත ඇ.ඩො.බි. 4.4ක් විය.