
ජනවාරි 01 VAT බදු සංශෝධනයෙන් පසු භාවිත කරන ලද සුසුකි වැගන් R රථයක මිල රු. මිලියනයකින් පමණ ඉහළ නැංවීමට සිදුවනු ඇතැයි CMTA පවසයි.
2024 ජනවාරි 01 දා සිට සිදු වූ VAT බදු සංශෝධනයෙන් පසුව භාවිත කරන ලද (used) ලංකාවේ ඉතා ජනප්‍රිය සුසුකි වැගන් R රථයක් නිත්‍යානුකූල රාමුව තුළ ව්‍යාපාරයන් හි යෙදෙන සමාගමකට විකිණීමට සිදු වීමේදී වැඩිපුර රු. මිලියනයක පමණ අගයකින් මිල ඉහළ නැංවීමට සිදුවනු ඇතැයි ලංකා මෝටර් රථ වෙළඳ සංගමය (Ceylon Motor Traders Association- CMTA) පවසයි.
තවද Honda Dio Scooter වැනි මෝටර් සයිකලයක මිල පවා VAT නිසා අමතර රු.100,000කින් පමණ ඉහළ යා හැකි අතර CMTA පවසන්නේ, පාවිච්චි කරන ලද වාහනයක මිල මිල දී ගැනීමේ සහ විකිණීමේ චක්‍රය හරහා යන සෑම අවස්ථාවකදීම VAT බද්ද හේතුවෙන් ඉහළ යන බවයි.
දැරිය නොහැකි මිල: මෙම මිල ඉහළ යාම කිසිසේත්ම පාරිභෝගිකයාට දරා ගත නොහැකි නිසා භාවිත කරන ලද මෝටර් රථ වෙළඳ පොළෙන් (used car market) නිත්‍යානුකූල රාමුව තුළ ව්‍යාපාරයන් හි යෙදෙන සමාගම් ඈත් විය හැකි අතර එම හේතුව නිසාම දැවන්ත කළු වෙළඳ පොළක් නිර්මාණය වීමට ඉඩකඩක් පවතින බව ඔවුන්ගේ අදහසයි.
CMTA පෙන්වා දෙන්නේ ඔවුන්ගේ සංගමයේ සාමාජික සමාගම්වලට වාහන අලෙවි කිරීමේදී අලුතින් පනවා ඇති VAT බද්ද නිසා වාහනයක මිල අමතර සියයට 18කින් ඉහළ නැංවීමට සිදුව ඇති බවයි. අනෙක් අතට, බොහෝ විට මුදල් ගනුදෙනුවල පමණක් (cash only) යෙදෙන අවිධිමත් සමාගම් සහ පුද්ගලයන්ට මෙම අතිරේක බද්දේ බරකින් තොරව ක්‍රියාත්මක විය හැකි අතර, එමගින් ඔවුනට සියයට 18ක සැලකිය යුතු තරගකාරී වාසියක් ලබා දෙයි.
රජයේ අපේක්ෂා: මේ නිසා පාවිච්චි කරන ලද වාහන අලෙවිය මෙවැනි කළු කඩ වෙළෙඳුන් වෙත යොමු වීම නිසා රජයට පාවිච්චි කළ වාහන මත VAT බද්ද පැනවීමෙන් අපේක්ෂා කරන ආදායම ලබා ගැනීමට නොහැකි වනු ඇත. මෙවැනි සමාගම් හා පුද්ගලයින් බලධාරීන්ට ඔවුන්ගේ සැබෑ ගනුදෙනු හෝ ලාභදායිත්වය හෙළි නොකරයි. එම නිසා ඔවුන් බොහෝ විට ආදායම් බදු හෝ වෙනත් සෘජු බදු ද නොගෙවයි.
CMTA යෝජනා කරන විසඳුම: “අපි රජයට යෝජනා කර තිබෙන්නේ වාහනයේ ලාභ ආන්තිකය (profit margin) මත VAT බද්ද අය කරන ලෙසයි. එමගින් විශාල මිල වැඩිවීමක් සිදු නොවන අතර නීත්‍යානුකූල සමාගම්වලට තම ව්‍යාපාර කරගෙන යාමට සහ රජයට VAT බද්ද හරහා පාවිච්චි කළ වාහන අලෙවියෙන් ආදායමක් උපයා ගැනීමට හැකි වේ. මෙම ප්‍රශ්නයට අවධානය යොමු නොකළහොත්, ආනයන අත්හිටුවීමෙන් දැනටමත් රැකියා 15,000කට වැඩි ප්‍රමාණයක් අහිමි වී ඇති මෝටර් රථ කර්මාන්තයේ රැකියා තවදුරටත් අහිමි විය හැකිය.” – CMATA සභාපති චරක පෙරේරා
CMTA කවුද: CMTA සාමාජිකත්වය ගෝලීය වාහන නිෂ්පාදකයින්ගේ දේශීය බලයලත් නියෝජිතයන්ගෙන් සමන්විතය.