ආර්ථික
SDPA හරහා වන මහා බදු සහනවලට IMF එකෙන් වැට

කොළඹ වරායේ චීන සමාගමක් විසින් ඉදි කිරීමට යන සැපයුම් මධ්‍යස්ථාන ආයෝජනයකට දීමට ගිය බදු සහන නොලැබී යන තත්ත්වයක්.

සමහර ව්‍යපෘති සඳහා රජය මේ වන විටත් උපාය මාර්ග සංවර්ධන ව්‍යාපෘති පනත (Strategic Projects Development Act – SDPA) යටතේ ගැසට් පත්‍ර මගින් නිවේදනය කර ඇති බදු සහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) බලපෑම මත ලබා දිය නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ඉහළ පෙළේ ආරංවි මාර්ග පවසයි.

මොකක්ද මේ SDPA?: 2008 උපාය මාර්ග සංවර්ධන ව්‍යාපෘති පනත මහින්ද රාජපක්ෂගේ ප්‍රථම ජනාධිපති ධූර කාලයේදී හඳුන්වා දෙන ලදී. මෙමගින් අපේක්ෂා කළේ ක්‍රමෝපායිකව වැදගත් යැයි රජය සිතූ සමහර ව්‍යාපෘතීන් සඳහා දීර්ඝ කාලීන බදු සහන (tax concessions) හා බදු නිවාඩු (tax holidays) ලබා දීමයි.

චෝදනා: මෙම පනත විශාල වශයෙන් අවභාවිත වීම හේතු කොට ගෙන රටට ලැබිය යුතු අති විශාල බදු මුදලක් අහිමි වන බව බොහෝ දෙනාගේ මතය විය. මේ හේතුව නිසාම 2016 දී යහපාලන රජය යටතේ ක්‍රියාත්මක වූ IMF වැඩසටහනක් හරහා මෙම පනත තාවකාලිකව අත්හිටවනු ලැබිණි.නමුත් 2019 සිදු වූ ආණ්ඩු පෙරළියත් සමගම ශ්‍රී ලංකාව එවකට පැවති IMF වැඩසටහනින් ඉවත් වීමත් සමගම මෙම පනත නැවත බලාත්මක කිරීමට ගෝඨාභය රාජපක්ෂ රජය තීරණය කරන ලදී.

නව IMF වැඩසටහන: කෙසේ වුවත් 2022දී ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසුව නැවත IMF වෙත උදව් ඉල්ලා ගිය ශ්‍රී ලංකාව රාජ්‍ය අදායම් මත පදනම් වූ ඒකාබද්ධ වැඩසටහනකට (revenue-based fiscal consolidation) IMF සමග එකඟ වීමත් සමගම SDPA නැවත කරළියට එනු දක්නට ලැබිණි.

රජය දුන් පොරොන්දුව: “උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති (SDP) යටතේ සමහර ව්‍යාපාරවලට ලබා දී ඇති බදු නිදහස් කිරීම්වලින් දූෂණ අවදානම අවම කිරීම සඳහා, බලධාරීන් 2023 දෙසැම්බර් වන විට SDP පනත යටතේ නව ව්‍යාපෘති අනුමත නොකරන අතර තෝරා ගැනීමේ ක්‍රියාවලිය සහ නව ආයෝජන ව්‍යාපෘති ඇගයීම පැහැදිලි සහ විනිවිදභාවය ඇතුළත් ක්‍රමවේදයක් බවට පත් කිරීමට සහතික කිරීම සඳහා මෙම නීතිය සංශෝධනය කරනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පූර්ව උපදෙස් නොමැතිව නව බදු සහන යෝජනා ක්‍රම ලබා නොදීමට ද බලධාරීන් එකඟ වී ඇත.” – IMF පළමු සමාලෝචනය, දෙසැම්බර් 2023.

කඩ වුණ පොරොන්දුව: තත්ත්වය මෙසේ පැවතිය ද 2023 දෙසැම්බර් මාසයේ අග භාගයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයා වශයෙන් ඔහු සතු බලතල භාවිත කරමින් චීන සමාගමක් වන China Merchants Port Holdings Company Limited (CMPort), ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා Access Engineering PLC යන සමාගම් හා ආයතන එකතුව කොළඹ වරායේ ඉදි කිරීමට නියමිත ජාත්‍යන්තර සැපයුම් මධ්‍යස්ථානයක් (logistics centre) සඳහා වන ආයෝජනයකට විවිධ ආකාරයේ දීර්ඝ කාලීන බදු සහනයන් SDPA හරහා ගැසට් පත්‍රයක් මගින් නිවේදනය කළේය. මෙම ව්‍යපෘතියේ අයිතිය සීයයට 70ක් CMPort ට වන අතර වරාය අධිකාරියට හා Access සමාගමට සමාන ලෙස සීයයට 15 බැගින් හිමි වේ.

පසුගිය සතියේ IMF දූත කණ්ඩායම කියූ දේ: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දුන් පොරොන්දු නොසලකා රජය SDPA හරහා විවිධ පාර්ශවයන්ට බදු සහන දීමට දිගින් දිගටම කටයුතු කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් දූත මණ්ඩල ප්‍රධානී පීටර් බ්‍රෝයර් පැවසූයේ: “බදු සහන යනු බදු ආදායමේ නැතිවූ අංගයකි. ඉතින් එක පැත්තකින් තමුන්නාන්සේලා බදු එකතුකිරීම් වැඩිකරගන්න හදනවා. නමුත් අනිත් පැත්තෙන් බදු සහන ලබා දෙනවා. ඒ නිසා මේ පුරුද්ද දිගටම කරගෙන යන්න බැහැ. රජය අපට සහතික වී තිබෙනවා මෙම තත්ත්වය වෙනස් කරන බවට. බදු සහන සඳහා ඔබ ඔය කියන කාරණය වැනි දෑ සම්බන්ධයෙන් යෝජනා තිබුණත් අපේ වැටහීම වන්නේ ඒවා අනුමත නොවන බවයි.”IMF මාධ්‍ය සාකච්ඡාව, 2024, ජනවාරි 19, කොළඹදී.