ශ්‍රී ලංකාව සහ බෙල්ජියම අතර සහයෝගීතාවයේ නව යුගයක් ඇරඹෙයි
image for ශ්‍රී ලංකාව සහ බෙල්ජියම අතර සහයෝගීතාවයේ නව යුගයක් ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ බෙල්ජියම අතර සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, දෙරට අතර ප්‍රථම දේශපාලන උපදේශන වටය බ්‍රසල්ස් නුවර එග්මොන්ට් මාලිගයේදී සාර්ථකව නිම වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

2017 වසරේදී මුලින්ම සැලසුම් කරන ලද මෙම ක්‍රියාවලියට නව පණක් ලබා දෙමින්, දෙරට අතර සබඳතා නවීකරණය කිරීම සහ ද්විපාර්ශ්වික බැඳීම් ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණ විය.

මෙම සාකච්ඡා වටය සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න සහ බෙල්ජියම් ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් බර්ගිට් ස්ටීවන්ස් (Birgit Stevens) නායකත්වය ලබා දුන්හ. 

එහිදී දේශපාලන නියැලීම, ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සංචාර, වෙළඳාම, ආයෝජන, සංචාරක කර්මාන්තය මෙන්ම ආරක්ෂක සහ සමුද්‍රීය ආරක්ෂාව වැනි පුළුල් පරාසයක විහිදුණු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව දෙපාර්ශ්වයම අවධානය යොමු කළහ.

ආර්ථික සබඳතා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ:

“වෙළඳාම, සංචාරක ව්‍යාපාරය මෙන්ම හරිත බලශක්තිය, ඖෂධ නිෂ්පාදනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, වරාය සහ සැපයුම් ජාල වැනි ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා පිළිබඳව විශේෂ අවධාරණයක් යොමු කරමින් ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව සිය උනන්දුව යළි තහවුරු කළේය”

මීට අමතරව, යුරෝපා සංගමයේ GSP+ බදු සහනය යටතේ ශ්‍රී ලංකාවේ නියැලීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මගපෙන්වීම යටතේ සිදු කෙරෙන ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ප්‍රතිසංස්කරණ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇත. 

ශ්‍රී ලංකාව ගෙන යන මෙම වැඩපිළිවෙළ බෙල්ජියමේ ඇගයීමට ලක් වූ අතර, මෑතකදී ඇති වූ ‘දිත්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් පසු සිදු කෙරෙන නැවත ගොඩනැගීමේ අදියර සඳහා බෙල්ජියමේ සහාය ද ශ්‍රී ලංකාව අපේක්ෂා කළේය.

යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිලි කරමින් අමාත්‍යාංශය මෙසේද සඳහන් කළේය:

“නිර්මාණාත්මක නියැලීමක සහ අඛණ්ඩ ප්‍රගතියක වැදගත්කම අවධාරණය කරන අතරම, යහපාලනය නංවාලීම, ජාතික සංහිඳියාව සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම සඳහා ගනු ලබන උත්සාහයන් පිළිබඳව ශ්‍රී ලංකාව කරුණු පැහැදිලි කළේය.”

කලාපීය සහ ගෝලීය වර්ධනයන් පිළිබඳව ද අවධානය යොමු කරමින්, දෙරටම බහුපාර්ශ්විකවාදය කෙරෙහි ඇති කැපවීමත්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සහ ජාත්‍යන්තර නීතියට ගරු කිරීමේ වැදගත්කමත් යළිත් අවධාරණය කළහ. විද්‍යාත්මක හා සංස්කෘතික සහයෝගීතාව, දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ හරිත බලශක්ති සංක්‍රාන්තිය වැනි ක්ෂේත්‍ර කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.