මෙරට ගුවන් සේවා ක්ෂේත්‍රයේ ඉතිහාසගත වර්ධනයක්
image for මෙරට ගුවන් සේවා ක්ෂේත්‍රයේ ඉතිහාසගත වර්ධනයක්

ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය ලැබූ ශක්තිමත්ම වර්ධනය 2025 දී සනිටුහන් වී ඇත. මගී ගමනාගමනය, ගුවන් සේවා සම්බන්ධතා සහ ප්‍රාදේශීය ගුවන් තොටුපළ භාවිතය යන අංශවල පුළුල් ප්‍රකෘතිමත් වීමක් මෙහිදී දක්නට ලැබේ.

ශ්‍රී ලංකා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම (AASL) සඳහන් කළේ 2025 වසර තුළ ජාත්‍යන්තර මගී මෙහෙයුම් සංඛ්‍යාව 10,202,109ක් වූ බවයි. මුළු ජාත්‍යන්තර ගුවන් යානා මෙහෙයුම් සංඛ්‍යාව 64,340කි. භාණ්ඩ ප්‍රවාහනය ටොන් 190,280ක් ලෙස වාර්තා වූ අතර එය වෙළඳ හා සැපයුම් ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබා දී ඇති බව වාර්තා වෙයි.

මෙම වර්ධනයේ ප්‍රධාන සාධකය වී ඇත්තේ සංචාරක කර්මාන්තයයි. පසුගිය වසර තුළ ගුවනින් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 2,335,076 කි. සංක්‍රමණික මගීන් සංඛ්‍යාව ද 946,811 දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ආරක්ෂක ගැටලු, කොවිඩ් වසංගතය සහ 2022 ආර්ථික බිඳවැටීමෙන් පසු ශ්‍රී ලංකාව නැවතත් කලාපීය ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙස මතු වෙමින් පවතින බව මෙම වර්ධනයන් මගින් පෙනී යයි. .

සාර්ව ආර්ථික තත්ත්වයන් ස්ථාවර වීම සහ ප්‍රතිපත්තිමය අවධානය හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් සමාගම් සහ මගීන් තුළ ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසය ඉහළ ගොස් ඇත. මෙහෙයුම් කටයුතු සහ සේවා ගුණාත්මකභාවය පවත්වා ගැනීම සම්බන්ධයෙන් ගුවන් තොටුපළ පහේම සේවකයින්ට සහ අනෙකුත් පාර්ශවකරුවන්ට AASL ස්තූතිය පුද කළේය.

මත්තල සහ යාපනය ගුවන් තොටුපළවල සාර්ථකත්වය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2013 වසරේ විවෘත කිරීමෙන් පසු වාර්තා වූ ඉහළම මගී සංඛ්‍යාව 2025 දී සනිටුහන් කර ඇත. වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අනුව මත්තල ගුවන් තොටුපළ මගීන් 140,614ක් හසුරුවා ඇති අතර ජාත්‍යන්තර ගුවන් ගමන් 703කට පහසුකම් සලසා ඇත.

මත්තල ගුවන් තොටුපළ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම මෙම වර්ධනයට ප්‍රධාන හේතුවක් විය. මීට පෙර වනජීවී අවදානම් හේතුවෙන් ගුවන් සමාගම් මත්තලට පැමිණීමට අකමැත්තක් දැක්වූ නමුත් එම අවදානම් අවම කිරීමට ගත් පියවර නිසා මේ වන විට මගීන්ගේ විශ්වාසය ගොඩනැගී ඇත.

රුසියාවේ Red Wings, පකිස්තානය සහ බහරේනය සම්බන්ධ කරන SkyUp, ඩුබායි හි Fly One සහ උස්බෙකිස්ථානයේ සේවා ඇතුළු ජාත්‍යන්තර ගුවන් සමාගම් රැසක් මත්තල සමඟ සබඳතා ආරම්භ කළේය. බෙලාරුස් හි Belavia ගුවන් සේවය ද සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ තදබදය අවම කිරීමට සහ සංචාරක කර්මාන්තයට සහය වීමට මත්තල ගුවන් තොටුපළ වැදගත් දායකත්වයක් ලබා දෙයි.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ ද 2019 ආරම්භයේ සිට වාර්තා වූ ඉහළම මගී සංඛ්‍යාව 2025 දී වාර්තා කළේය. එහිදී ජාත්‍යන්තර මගීන් 53,443ක් සහ ගුවන් යානා මෙහෙයුම් 1,138ක් සිදු විය. මැලේසියාවේ සිට සහ ඉන්දියාවේ හයිද්‍රාබාද් සහ චෙන්නායි සිට විශේෂ ගුවන් ගමන් මෙහෙයවීම යාපනය ගුවන් තොටුපළේ විශේෂ ජයග්‍රහණයකි. මීට අමතරව, හයිද්‍රාබාද් සිට පළමු ජාත්‍යන්තර ගුවන් වෛද්‍ය ඉවත් කිරීමේ ගුවන් ගමන ද මෙහිදී සිදුවිය.

යාපනය ගුවන් තොටුපළේ පර්යන්තය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ද මේ වන විට ආරම්භ කර ඇත. තවද, ‘දිත්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන්ට සහන සේවා සැලසීමේ මානුෂීය මෙහෙයුම් සඳහා ද මෙම ගුවන් තොටුපළ දායක විය.

සමස්තයක් ලෙස 2025 වසරේ දක්ෂතාවය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රය සංචාරක, වෙළඳ සහ කලාපීය සංවර්ධනයේ ප්‍රධාන මෙවලමක් ලෙස නැවත ස්ථාපිත වෙමින් පවතින බවයි. 2026 වසරේදී මෙම වර්ධනය පවත්වා ගැනීම සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව බලධාරීහු ප්‍රකාශ කරති.