ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව පාලනය කේන්ද්‍ර කරගත් ආර්ථික පරිවර්තනයකට සැරසෙයි
image for ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව පාලනය කේන්ද්‍ර කරගත් ආර්ථික පරිවර්තනයකට සැරසෙයි

දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා ඊයේ (17) ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී, මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම, ආපදා සහන සහ මීළඟ ප්‍රතිසංස්කරණ අදියර පිළිබඳව සාකච්ඡා කළාය.

මෙම හමුව හරහා මෙතෙක් පැවති ආර්ථික අර්බුදය සමනය කිරීමේ අදියරේ සිට ඉහළ ආර්ථික වර්ධනයක් කරා යන ගමන සනිටුහන් විය. එහිදී යහපාලනය, දූෂණය පිටුදැකීම සහ ග්‍රාමීය ආර්ථිකය පරිවර්තනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරිණි.

මෑතකදී ඇති වූ ස්වභාවික ආපදා සම්බන්ධයෙන් කළමනාකාර අධ්‍යක්ෂිකාව සිය කණගාටුව පළ කළාය. ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී බලපෑ සුළි කුණාටුව හේතුවෙන් ග්‍රාමීය ප්‍රජාවට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ඇය පෙන්වා දුන්නාය. එම ප්‍රජාවට නිවාස, ඉඩම් ප්‍රතිසංස්කරණය සහ ජීවනෝපාය අවස්ථා සඳහා කඩිනම් සහාය අවශ්‍ය බව ඇය අවධාරණය කළාය. 

පවතින වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබා දිය හැකි වඩාත් ඵලදායී සහාය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. ශ්‍රී ලංකාව සහ මූල්‍ය අරමුදල අතර පවතින හවුල්කාරිත්වය මගින් මේ වන විටත් ජනතාවට සහ ආර්ථිකයට ප්‍රතිලාභ ලැබෙමින් පවතින බව ජෝර්ජියේවා පැවසුවාය. 

වත්මන් රජය යහපාලනය සහ දූෂණයට එරෙහි ප්‍රතිසංස්කරණ සඳහා කැපවී සිටින බැවින්, ශ්‍රී ලංකාවට දැන් වේගවත් සංවර්ධනයක් කරා යාමට සුවිශේෂී අවස්ථාවක් ඇති බව ඇය පැවසුවාය.

මහජන අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා සියයට 7-8 ක ඉහළ ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමේ වැදගත්කම ඇය පෙන්වා දුන්නාය. පොදු ආයෝජන කළමනාකරණය ශක්තිමත් කිරීම සහ පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කිරීම දිගුකාලීන වර්ධනය සඳහා ප්‍රමුඛතා ලෙස හඳුනා ගැනුණි. එසේම, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති හරහා ආපදා සූදානම ශක්තිමත් කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි. 

මෙම සාකච්ජාවේදී කෘෂිකාර්මික ඵලදායීතාවය සහ ග්‍රාමීය ආර්ථික පරිවර්තනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. ජනගහනයෙන් විශාල පිරිසක් කෘෂිකර්මාන්තයේ නියැලී සිටිය ද, දළ දේශීය නිෂ්පාදිතයට ඔවුන්ගෙන් ලැබෙන දායකත්වය සාපේක්ෂව අඩු බව එහිදී නිරීක්ෂණය විය. 

එබැවින්, සංස්කෘතික සම්ප්‍රදායන් සහ ඉඩම් හිමිකම් ආරක්ෂා කර ගනිමින් ග්‍රාමීය රැකියා අවස්ථා විවිධාංගීකරණය කිරීමට උපාය මාර්ගයක අවශ්‍යතාවය සාකච්ඡා විය. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.