
පවතින භූ-දේශපාලනික ගැටලු හමුවේ ඇති විය හැකි අවදානම් අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ වෙළඳාම ඉහළ නැංවිය යුතු බව ආසියානු සංවර්ධන බැංකුවේ හිටපු පර්යේෂණ විශේෂඥයෙක් ප්‍රකාශ කරයි.

පවතින භූ-දේශපාලනික ගැටලු හමුවේ ඇති විය හැකි අවදානම් අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ වෙළඳාම ඉහළ නැංවිය යුතු බව ආසියානු සංවර්ධන බැංකුවේ හිටපු පර්යේෂණ විශේෂඥයෙක් ප්‍රකාශ කරයි.
පසුගිය සතියේ කොළඹ පැවැති සංසදයකදී අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ හිටපු පර්යේෂණ අධ්යක්ෂ ගනේෂන් විග්නරාජා පැවසුවේ, ඉන්දියාව සමඟ පවතින නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.
දත්ත වලට අනුව, 2025 වසරේදී ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට සිදු කළ භාණ්ඩ අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.04 කි. ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ඇති භාණ්ඩ මගින් ආනයනයට වඩා වැඩි අපනයන ආදායමක් අඛණ්ඩව ජනනය කර ඇත.
ශ්‍රී ලංකාව ඉන්දීය වෙළඳපොළ සමඟ තවදුරටත් ඒකාබද්ධ වී එහි ප්රතිලාභ ලබා ගත යුතු බව විග්නරාජා මහතා අවධාරණය කළේය. එසේම වර්තමානයට වඩා උපායමාර්ගික සබඳතාවක් ගොඩනගා ගත යුතු බව ඔහු පැවසීය.
“අපි ඉන්දියාව දෙස සැබවින්ම උපායමාර්ගික දෘෂ්ටිකෝණයකින් බැලිය යුතුයි. අප සතුව ඇත්තේ මීට දශක කිහිපයකට පෙර අත්සන් කරන ලද ඉතා සීමිත වෙළඳ ගිවිසුමක්. නමුත් ආයෝජන ගිවිසුමක් පිළිබඳ සාකච්ඡාවක් පැවතුණා. මම හිතන්නේ ඒ සියල්ල ඉතා ඉක්මනින් සිදු කිරීම වඩාත් සුදුසුයි,” ඔහු පැවසීය.
CEPA (සමස්ත ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම) 2005 සහ 2008 අතර කාලය තුළ සාකච්ඡා කෙරිණි. එහි අරමුණ වූයේ පවතින වෙළඳ ගිවිසුම භාණ්ඩ වලට පමණක් සීමා නොකර සේවා, ආයෝජන සහ තාක්ෂණික හුවමාරු දක්වා වර්ධනය කිරීමයි.
කෙසේ වෙතත්, විවිධ වූ වෘත්තිකයන් මෙන්ම දේශීය ව්‍යාපාරික මණ්ඩල ද මෙයට බියක් දැක්වූහ. ඉන්දියානු වෘත්තිකයන් සහ ලාභ ශ්‍රමය මෙරටට පැමිණීමෙන් ශ්‍රී ලංකාවේ කුඩා වෙළඳපොළට බලපෑම් එල්ල විය හැකි බවත්, එය දේශීය රැකියා වියුක්තියට හේතු විය හැකි බවත් ඔවුන්ගේ අදහස විය.
දැනට පවතින නිදහස් වෙළඳ ගිවිසුම යටතේ පවා වෙළඳාම වර්ධනය කිරීමට බාධා පවතින බවත්, තවමත් නිසි ලෙස ප්‍රයෝජනයට නොගත් අවස්ථා රැසක් පවතින බවත් විග්නරාජා පෙන්වා දුන්නේය.
“අඩු රෙගුලාසි පවතින සේවා අංශය මෙහිදී වැදගත් වන බව මම සිතනවා. උදාහරණයක් ලෙස ‘Gift City’ තුළ අපේ සමාගම්වලට ඔවුන් සමඟ ව්‍යාපාරික කටයුතුවල නිරත වීමට අවස්ථා තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන්ට මුම්බායි වැනි ඉන්දියාවේ වැදගත් මධ්‍යස්ථානවල රැකියා කිරීමට අවස්ථාව ලබා ගැනීම ගැන වැඩිපුර සාකච්ඡා කළ යුතුයි. එසේ නොවුවහොත් වෙළඳාම වෙනතකට යොමු වීමේ අවදානමක් පවතින බව ආර්ථික ආකෘති පෙන්වා දෙනවා,” යැයි විග්නරාජා මහතා වැඩිදුරටත් පැවසීය.