ස්වෛරීභාවය සුරැකීමට ජාත්‍යන්තර නීතියට ගරු කළ යුතුයි
image for ස්වෛරීභාවය සුරැකීමට ජාත්‍යන්තර නීතියට ගරු කළ යුතුයි

ඇමරිකා එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවේ ආරක්ෂක මූලස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර සහ එරට ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය නිල රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිචාරය දක්වා ඇත.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතියට අනුකූලව සෑම රටකම ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම සියලු සාමාජික රටවල වගකීමක් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මෙහිදී අවධාරණය කළේය.

ඇමරිකානු රජය පවසන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මෙම පියවර ගත් බව වුවද, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඇතුළු ලෝක නායකයන් පෙන්වා දෙන්නේ මෙය අනාගත ලෝක දේශපාලනයට අහිතකර පූර්වාදර්ශයක් සපයන බවයි. 

විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගුණු ජාත්‍යන්තර දේශපාලන ක්‍රමවේදය මෙවැනි ක්‍රියා නිසා බිඳ වැටීමේ අවදානමක් පවතින බව විචාරකයෝ පවසති.

විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසියේ රැස්විය යුතු බවයි. ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය වන ක්‍රියාවන්ට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය කඩිනමින් පියවර ගත යුතු බවත් ඔහු සඳහන් කළේය. 

ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයන්ගේ ආරක්ෂාව තහවුරු වන්නේ ජාත්‍යන්තර නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමෙන් පමණක් බව රජයේ ස්ථාවරයයි.

මෙම අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව පෙනී සිටින්නේ බලවතුන්ගේ ආධිපත්‍යයට එරෙහිව, සෑම රටකටම හිමි ස්වාධීන අයිතිය වෙනුවෙනි. ජාත්‍යන්තර නීතියේ රැකවරණය නොමැති වුවහොත් ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් ප්‍රබල අසල්වැසියන්ගේ හෝ ලෝක බලවතුන්ගේ බලපෑම්වලට නතු වීමේ අවදානමක් පවතින බවද මෙහිදී අවධාරණය කෙරිණි.