කාලීන
ප්‍රධාන මාර්ගවල බෑවුම් ආරක්ෂා කිරීම සඳහා රුපියල් බිලියන 115ක්
image for ප්‍රධාන මාර්ගවල බෑවුම් ආරක්ෂා කිරීම සඳහා රුපියල් බිලියන 115ක්

‘දිත්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් සිදු වූ හානි ප්‍රතිසංස්කරණය කිරීමේදී, ප්‍රධාන මාර්ගවල බෑවුම් ආරක්ෂා කිරීමේ කටයුතු සඳහා රුපියල් බිලියන 115ක් වැය කිරීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ ය.

මෙම ස්වභාවික ආපදාව හේතුවෙන් A සහ B ශ්‍රේණියේ මාර්ගවල කිලෝමීටර 1456.64ක් දිගැති කොටස් 572කට හානි සිදුව ඇති බව ඔහු සඳහන් කළේය. මෙයින් කිලෝමීටර් 723ක්ම මධ්‍යම පළාතට අයත් වේ.

එසේම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වන දළ ඇස්තමේන්තුව රුපියල් බිලියන 68.84ක්, යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය. 

එමෙන්ම මධ්‍යම පළාතේ A සහ B මාර්ග යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන 52ක් පමණ වැය වන අතර, ඉන් බිලියන 32ක්ම මහනුවර දිස්ත්‍රික්කය සඳහා වෙන් කෙරෙන බව ද සදහන් කළේ ය.

මෙම ප්‍රතිසංස්කරණ කටයුතුවලදී විශේෂ අවධානයක් යොමු කර ඇත්තේ හානියට පත් වූ පාලම් 40ක් පිළිබඳව වන අතර, ඉතා වැදගත් මට්ටමේ ප්‍රධාන පාලම් 18ක් ද මීට ඇතුළත් වේ.

මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 75ක් සහ හානියට පත් ප්‍රධාන පාලම් 18ක් යථා තත්ත්වයට පත් කිරීමට රුපියල් බිලියන 6ක් අවශ්‍ය බව ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. 

මෙම ප්‍රතිසංස්කරණවල වැදගත්කම පැහැදිලි කරමින් ඔහු පෙන්වා දුන්නේ, සුළි කුණාටුව අතරතුර ලබාගත් සමාජ මාධ්‍ය දර්ශනවලට අනුව විධිමත් කොන්ක්‍රීට් කාණු සහ බෝක්කු පද්ධති පැවති මාර්ගවලට ජල ප්‍රවාහයන්ගෙන් එල්ල වූ හානිය අවම වී ඇති බවයි. 

එබැවින් අනාගත ආපදාවලට ඔරොත්තු දෙන ලෙස මෙම නව ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, කැපූ බෑවුම්වලින් සිදු වූ ගල් පෙරළීම් හේතුවෙන් බොහෝ මාර්ග අවහිර විය. ඇතැම් මාර්ග දුර බැහැර සිට ගලා ආ සුන්බුන් සහිත නායයෑම් (debris avalanches) හේතුවෙන් අවහිර වී තිබුණි. දශක ගණනාවක් පුරා ස්ථාවරව පැවති බොහෝ බෑවුම් ද අධික වර්ෂාව හේතුවෙන් කඩා වැටී ඇත.

ඒ හේතුවෙන් මාර්ග යළි ඉදිකිරීමේදී බෑවුම් ආරක්ෂා කිරීම (slope protection) සඳහා මුදල් වැය කරනු ඇත.

“හානි වූ ස්ථාන වැඩිදියුණු කිරීම සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වැය වන මුදල රුපියල් බිලියන 115ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. හානි වූ ස්ථාන යථා තත්ත්වයට පත් කර පෙර තිබුණාට වඩා හොඳ මට්ටමකට ගෙන ඒම සඳහා අපට රුපියල් බිලියන 190ක් වැය වනු ඇති.” මේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අදහසයි.

මේ අතර සුළි කුණාටු සහන සහ ප්‍රකෘතිමත් කිරීමේ කටයුතු සඳහා රුපියල් බිලියන 500ක් වැය කිරීමට ශ්‍රී ලංකාව පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට නියමිත අතර, ඉන් රුපියල් බිලියන 250ක් යටිතල පහසුකම් සඳහා වෙන් කෙරේ.

මෙහිදී මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) යටතේ පවතින ප්‍රධාන A සහ B ශ්‍රේණියේ මාර්ග ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛතාවය හිමිවන අතරම, පළාත් පාලන ආයතන යටතේ පවතින හානියට පත් කුඩා මාර්ග දහස් ගණනක අලුත්වැඩියා කටයුතු සඳහා ද මෙම ප්‍රතිපාදන බෙදී යන ආකාරය පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇත.