
සුළි කුණාටුවෙන් පසු හදිසි ආධාර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ විය.

සුළි කුණාටුවෙන් පසු හදිසි ආධාර ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ විය.
එහෙත්, ඒ සමඟම රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ඔවුන් යම් අනතුරු ඇඟවීමක් ද සිදු කළේය.
මෙහි දී ශ්‍රී ලංකාව සඳහා වන IMF මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ, අසීරුවෙන් අත්කර ගත්, රටේ ආර්ථික ප්‍රකෘතිය අලුත් බලපෑම් හමුවේ තවමත් අවදානමට ලක්විය හැකි බව අවධාරණය කළේ ය.
අන්තර්ජාලය හරහා පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, වෙන් කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 206ක ප්‍රතිපාදන මානුෂීය සහන මෙන්ම දීර්ඝකාලීන ආර්ථික ප්‍රකෘතිය උදෙසා ද යොදාගැනීමට අපේක්ෂිත බවයි.
“මෙම අතිරේක අයවැය ප්‍රතිපාදන මගින් ක්ෂණික මානුෂීය අවශ්‍යතා සහ දිගුකාලීන ප්‍රතිසංස්කරණ කටයුතු අතර පරතරය පියවීමට උපකාරී වනු ඇත,” එවන් පැපජෝර්ජියෝ පැවසුවේ ය.
එමෙන්ම ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයකින් මිදී නැගී සිටින සංවේදී මොහොතක මෙම සුළි කුණාටුව බලපා ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ අතරම, විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහන දැනටමත් දෘශ්‍යමාන ප්‍රතිඵල ලබා දීමට පටන් ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
“ශක්තිමත් ආර්ථික ප්‍රකෘතියක්, මිල ස්ථායීතාවයක් සහ විදේශ විනිමය සංචිත නැවත ගොඩනැගීමේ ප්‍රගතිය මෙයට ඇතුළත්,” යැයි පැවසූ ඔහු, ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීම සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ මගින් මූල්‍ය විනය ශක්තිමත් කර අවදානම් අඩු කර ඇති බවද සඳහන් කළේය.
වැඩිදිරටත් ණය තිරසාරභාවය පිළිබඳව අදහස් දක්වමින් පැපජෝර්ජියෝ කියා සිටියේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උත්සාහයන් මගින් රටට තීරණාත්මක සහනයක් ලබා දී ඇති බවයි.
කෙසේ වෙතත්, ආර්ථික ප්‍රකෘතිය තවමත් සම්පූර්ණ වී නොමැති බවට ඔහු දැඩි අනතුරු ඇඟවීමක් කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් බිඳෙනසුලු බවත්, දළ දේශීය නිෂ්පාදිතය තවමත් අර්බුදයට පෙර පැවති මට්ටමට පැමිණ නොමැති බවත් අවධාරණය කළ ඔහු, දිත්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයේ ආර්ථික බලපෑම ගණනය කිරීමට ගතවන කාලය සැලකිල්ලට ගෙන EFF වැඩසටහනේ පස්වන සමාලෝචනය කල් දැමීමට තීරණය කළ බව සඳහන් කළේය.
ඒ අනුව, අදාළ සමාලෝචන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා 2026 මුල් භාගයේදී නව IMF දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
වැඩි දුරටත් සුළි කුණාටුවෙන් ඇති වූ ආර්ථික පසුබෑම “සැලකිය යුතු සහ තවමත් දිග හැරෙමින් පවතින” එකක් ලෙස හැඳින්වූ ඔහු, කෘෂිකර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය මෙයින් වැඩිපුරම පීඩාවට පත්වන අංශ ලෙස හඳුනා ගත්තේ ය.
මීට අමතරව, සැපයුම් දාම බිඳවැටීම හේතුවෙන් උද්ධමනය ඉහළ යා හැකි බවත්, ඉදිරි වසරේදී ජංගම ගිණුමේ හිඟය පුළුල් වනු ඇති බවටත් ඔහු අනතුරු ඇඟවූයේ ය.
එසේ වුවද, රජය ක්‍රියාත්මක කරන සහන වැඩපිළිවෙළවල් මෙම බලපෑම අවම කිරීමට උපකාරී වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.
කෙටි කාලීනව “ඉලක්කම්වලට වඩා මිනිසුන්ට ප්‍රමුඛතාවය දිය යුතු” බව අවධාරණය කළ IMF මෙහෙයුම් ප්‍රධානී, විපතට පත් වූවන්ගේ ජීවිත සහ ජීවනෝපායන් ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බව පැවසුවේ ය.
එමෙන්ම, හදිසි වියදම් දැඩි පාලන ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවත්, ඒවා විනිවිදභාවයෙන් හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුකූලව සිදු විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
තව ද, මුදල් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, අයවැය පියවා ගැනීම සඳහා මුදල් අච්චු ගැසීමෙන් වළකින ලෙස ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නැවතත් ඉල්ලා සිටියේය.
මේ අතර ස්ථායීතාවය යථා තත්ත්වයට පත් කිරීමට සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අඛණ්ඩ ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වන බව පැවසූ ඔහු, ආපදා තත්ත්වය හමුවේ ණය ගැතියන්ට සහනයක් වීමට සහ මූල්‍ය පද්ධතියට අවශ්‍ය ද්‍රවශීලතාවය ලබා දීමට මහ බැංකුව ගෙන ඇති පියවර අගය කළේය.
අවසාන වශයෙන්, ආපදා තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රජය සහ මහ බැංකුව ගත් කඩිනම් ක්‍රියාමාර්ග ඇගයීමට ලක් කළ IMF මෙහෙයුම් ප්‍රධානී, ශ්‍රී ලංකාව අසීරුවෙන් ලබාගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීමට IMF කැපවී සිටින බව යළිත් තහවුරු කළේය.