දේශගුණික අර්බුදයට ලෝකය සූදානම් නැත: එක්සත් ජාතීන්ගේ අවධාරණය
image for දේශගුණික අර්බුදයට ලෝකය සූදානම් නැත: එක්සත් ජාතීන්ගේ අවධාරණය

වර්තමානය වන විට අප ජීවත් වන ලෝකය, විවිධ කාලගුණික විපර්යාස වලට වැඩි වැඩියෙන් ගොදුරු වෙමින් පවතියි. කෙසේ වෙතත් දැනට අප හා පවතින පද්ධති, මූල්‍යකරණය සහ යටිතල පහසුකම්, එකී දේශගුණික විපත් හැසිරවීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව දිගින් දිගටම පෙනී යයි..

ශ්‍රී ලංකාවේ ගත වූ දශක දෙක තුළ සිදු වූ දරුණුතම ස්වභාවික විපතෙන් පසු මාධ්‍ය ඇමතූ, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ආන්ද්‍රේ ෆ්‍රාන්චේ (Marc-André Franche) මේ පිළිබදව අදහස් දක්වා තිබේ. 

ඔහු සදහන් කළේ, ලොව පුරා දරුණු කාලගුණික තත්ත්වයන්ගේ සිදුවීම නිතර වැඩි වෙමින් එහි තීව්‍රතාවය ද වැඩි වන නමුත්, ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ සූදානම එයට සමපාත වී නොමැති බවයි.

“මම කියන්නේ මේ සඳහා සමස්තයක් වශයෙන් අපි හොඳින් සූදානම් වී නැහැ. අපි වැඩි වැඩියෙන් දරුණු කාලගුණික සිදුවීම්, සුළි කුණාටු, ගංවතුර දකිමින් සිටිනවා. ඉදිරි වසරවලදී සහ ඉදිරි දශකවලදී ලෝකයට මෙවැනි විපත්වලින් තවත් බොහෝ දුක් විඳින්නට සිදු වන බව පැහැදිලියි. ඒ වගේම අපි ඒ සඳහා සූදානම් නැහැ,” ඔහු පැවසුවේ ය.

ලෝකයේ මානුෂීය ආධාර සඳහා මුදල් හිඟ වන බවත්, රජයන් එම අරමුදල් තමන්ගේ රටේ වෙනත් අවශ්‍යතා සඳහා යොදා ගන්නා බවත්, මේ හේතුවෙන් එකම අවස්ථාවේ ඇතිවන අර්බුද කිහිපයක් පාලනය කිරීමට රටවල් මහත් වෙහෙසක් ගන්නා බවත් ඔහු තවදුරටත් අවධාරණය කළේ ය.

එමෙන්ම වියට්නාමය, ඉන්දුනීසියාව සහ තායිලන්තය ඇතුළු කලාපයේ රටවල් සමකාලීන දේශගුණයට අදාළ විපත් සමඟ පොරබදින අවස්ථාවක, සුඩානය, ගාසා තීරය සහ යේමනයේ ප්‍රධාන මානුෂීය අර්බුද ද අඛණ්ඩව පවතින බැවින්, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අරමුදල් සඳහා දැඩි තරඟයක් ඇති බව ඔහු පිළිගත්තේය. 

“අපට මෙතරම් හදිසි අවස්ථා එකවර තිබූ කාලයක් මට මතක නැහැ,” ඔහු අවධාරණය කළේය.

එසේම රජයන් කළ යුත්තේ, විපතෙන් පසු යළි ගොඩනැගීමේදී, පැරණි අවදානම් නැවත ඇති නොකර, ඉදිරියේදී එන විපත්වලට ඔරොත්තු දෙන තරමට යටිතල පහසුකම් ශක්තිමත් කිරීම බව ඔහු කියා සිටියේ ය.

තව ද, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා දේශගුණික-ප්‍රතිරෝධී ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය සහ අධි අවදානම් සහිත ප්‍රදේශවල යළි පදිංචි කිරීම්වලින් වැළකී සිටීමේ වැදගත්කම පිළිබදව ද මෙහිදී අවධාරණය කළේය. 

වැඩිදුරටත් කරුණු දක්වමින් ගංවතුර අවදානම අවම කිරීම සඳහා, පහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට ඔහු ශ්‍රී ලංකාව ඇතුළු රජයන් උනන්දු කළේ ය.

  • ඓතිහාසිකව ගංවතුරට ගොදුරු වන ප්‍රදේශවල නැවත පදිංචි වීමට රජය ඉඩ නොදීම
  • ගංගා දෙපස බැමි වැනි ආරක්ෂක ක්‍රම යොදා ගනිමින් ගංවතුර අවදානම අඩු කිරීම
  • පුළුල් වන දේශගුණික කම්පන හමුවේ ආර්ථික හා මානව හානිය අවම කර ගැනීම සඳහා රටවල් පූර්ව ආයෝජන මගින් දේශගුණික ප්‍රතිරෝධය පදනම් කරගත් සංවර්ධන ආකෘති ඉක්මනින් ප්‍රතිනිර්මාණය කිරීම