ආර්ථික
පුනර්ජනනීය බලශක්තිය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 30ක ණයක්!
image for පුනර්ජනනීය බලශක්තිය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 30ක ණයක්!

වැඩි පුනර්ජනනීය බලශක්තියක් මගින් විදුලිබල පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 30ක ණයක් ලබා ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසයි.

පුනර්ජනනීය බලශක්ති (සූර්ය හා සුළං වැනි) ප්‍රභවයන්ගෙන් විදුලිය නිසි පරිදි නොලැබෙන අවස්ථාවලදී පවා, විදුලිබල පද්ධතියේ කිසිඳු බිඳීමක් හෝ විශාල විදුලි බිඳවැටීමක අවදානමක් ඇති නොවීමට එය ශක්තිමත්ව පවත්වාගෙන යා යුතුය.

එසේම, පුනර්ජනනීය විදුලිය ජාතික බලශක්ති ජාලයට ඇතුළු කර එය ස්ථායී ලෙස පවත්වා ගැනීම, සහ දුර බැහැර ප්‍රදේශවලින් නිපදවන බලශක්තිය රැගෙන ඒම ද සිදු කළ යුතු ය.

මෙවැනි කටයුතු තවදුරටත් විධිමත් හා කාර්යක්ෂම කිරීම සඳහා මුදල් යෙදවීමේ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා මෙම ණය මුදල යොදාගන්නා බව අමාත්‍යංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධති ධාරිතාවය පුනර්ජනනීය බලශක්තිය භාවිතයට බාධා කරමින් සැලකිය යුතු තාක්ෂණික අභියෝග පෙන්නුම් කර ඇත. එබැවින්, පුනර්ජනනීය බලශක්තිය විදුලිබල පද්ධතියට ඒකාබද්ධ කිරීම සඳහා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට යෝජිත ව්‍යාපෘතියක් සකස් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ බාහිර සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ණය මුදල, ‘ශ්‍රී ලංකාව සඳහා සුරක්ෂිත, දැරිය හැකි සහ තිරසාර බලශක්ති ව්‍යාපෘතිය’ (Secure, Affordable, and Sustainable Energy for Sri Lanka Project) හරහා ලබා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

එසේම 2030 වන විට රටේ විදුලියෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ජනනය කිරීමේ රජයේ බලශක්ති අංශ ප්‍රතිපත්තිය සපුරාලීම මෙහි අනෙක් අරමුණ යි.

මෙම ව්‍යාපෘතියට අතිරේකව පෞද්ගලික අංශයේ ආයෝජන ඉහළ නැංවීම සඳහා ලෝක බැංකු සමූහයේ පහසුකමක් ද ලැබෙනු ඇත.

මේ හරහා අපේක්ෂිත ප්‍රධාන ප්‍රතිලාභ ලෙස පහත කරුණු ඉදිරිපත් කළ හැක.

  • පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ නැංවීම
  • සුරක්ෂිත හා දැරිය හැකි විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා විදුලිබල පද්ධතියේ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම
  • පෞද්ගලික අංශයේ සහභාගීත්වය එක්රැස් කරගැනීමට සහ දිගුකාලීන ප්‍රතිසංස්කරණ පවත්වාගෙන යාම සඳහා ආයතනික ධාරිතාව වැඩිදියුණු කිරීම

මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 30ක්, ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ (International Development Association – IDA) කවුළුවෙන් ලැබේ.

නමුත් ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 60 කි. ඉතිරි මිලියන 30 දෙවන අදියරක් ලෙස ලෝක බැංකුවෙන් ලැබීමට නියමිතය. 

එසේම මෙම අරමුදල් ලංකා විදුලිබල මණ්ඩලය (Ceylon Electricity Board) වෙත නැවත ණය ලෙස ලබා දීමට නියමිතයි.

මෙම මූල්‍ය ගිවිසුම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම සහ ලෝක බැංකු සමූහයේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් එන්. සිස්ලන් (David N. Sislen) විසින් 2025 දෙසැම්බර් 03 වන දින අත්සන් තබන ලදී.