ආර්ථික
ප්‍රධාන මාර්ග ප්‍රතිසංස්කරණයට රුපියල් බිලියන 190ක්!
image for ප්‍රධාන මාර්ග ප්‍රතිසංස්කරණයට රුපියල් බිලියන 190ක්!

දිත්වා සුළි කුණාටුව නිසා රට පුරා හානියට පත් වූ ප්‍රධාන මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් බිලියන 190ක මුදලක් ඇස්තමේන්තු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ ය.

ඒ අනුව මුළු රටම ආවරණය වන පරිදි මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ මූලික ඇස්තමේන්තුවෙහි වටිනාකම රුපියල් බිලියන 190ක් බව ජනාධිපතිවරයා නුවරඑළියේ පැවති හමුවකදී පැවසුවේ ය.

“පවතින ප්‍රතිපාදනවලින් රුපියල් බිලියන 40ක් පමණ භාවිතා කළ හැකි බවට අදහසක් තිබෙනවා. අපට රුපියල් බිලියන 150ක් සොයා ගැනීමට සිදු වෙනවා. අපිට එය සම්පාදනය කළ හැකියි.”

ඇස්තමේන්තුගත වටිනාකම : නුවරඑළිය දිස්ත්‍රික්කයේ හදිසි අලුත්වැඩියාවන් සඳහා රුපියල් මිලියන 100ක්, බේලි පාලමක් සඳහා රුපියල් මිලියන 120ක් සහ දැඩි ලෙස හානි වූ මාර්ග, බෝක්කු සහ පැති බැමි අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් බිලියන 14ක් අවශ්‍ය වේ.

කෙසේ වෙතත්, විවිධ පළාත් පාලන ආයතන යටතේ පවතින කුඩා මාර්ගවලට ද හානි සිදුවිය.

ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියට හෝ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිවලට අයත් නොවන නුවරඑළිය ප්‍රදේශයේ මාර්ග 800ක් පමණ ඇති බව නිලධාරියෙක් සඳහන් කළේ ය.

එමෙන්ම කිසිදු රාජ්‍ය අධිකාරියකට අයත් නොවන, වතු සමාගම් යටතේ පවතින මාර්ග ද නුවරඑළියේ පිහිටා ඇත.

මේ අනුව එකී ප්‍රධාන නගරවලට සම්බන්ධ වන අතු මාර්ග, ඒවා අයිති සමාගම්වලින් පළාත් පාලන ආයතන හෝ පළාත් මාර්ග සංවර්ධන අධිකාරි යටතට ගෙන නඩත්තු කළ යුතු බව ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ ය.