ආර්ථික
ශ්‍රී ලංකාවට ණය බරින් තොර ජාත්‍යන්තර සහාය අවශ්‍යයි – UNDP
image for ශ්‍රී ලංකාවට ණය බරින් තොර ජාත්‍යන්තර සහාය අවශ්‍යයි – UNDP

දිත්වා සුළි කුණාටුවෙන් පසු රට යළි ගොඩනැංවීමේ අභියෝග, අතිරේක ණය බරකින් තොරව සිදුකර ගැනීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් සලසන ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ජාත්‍යන්තර හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාව මෑතකදී මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් අනතුරුව යළි ගොඩනැංවීමේ මන්දගාමී නමුත් ස්ථාවර ගමනක නිරතව සිටියදී, ‘දිත්වා’ සුළි කුණාටුවේ දැවැන්ත විනාශය ඊට බාධාවක් වී තිබේ. මෙම ව්‍යසනයෙන් පසු යළි ගොඩනැංවීමේ වියදම් දැරීමට ශ්‍රී ලංකාවට තවදුරටත් ණය ලබා ගත නොහැකි බව UNDP අවධාරණය කරයි.

UNDP නේවාසික නියෝජිත අසුසා කුබෝටා පෙන්වා දෙන්නේ, මෙම ව්‍යසනය දිගුකාලීන ආර්ථික හා සමාජීය අස්ථාවරත්වයක් බවට පත්වීම වැළැක්වීම සඳහා අරමුණු සහගත බාහිර සහයෝගය අත්‍යවශ්‍ය වන බවයි. “රට ණය උගුලෙන් වැළකී, වැඩි ඔරොත්තු දීමේ හැකියාවකින් යුතුව කඩිනම් ප්‍රතිසංස්කරණයකට ඉඩ සලසන, දැරිය හැකි මූල්‍ය පහසුකම් සහ නව මෙවලම් සමඟ ජාත්‍යන්තර හවුල්කරුවන් ඉදිරියට පැමිණිය යුතුයි,” යන්න ඇයගේ දැඩි ඉල්ලීමයි.

UNDP හි නව භූ අවකාශ විශ්ලේෂණය (geospatial analysis) මගින් පෙන්නුම් කරන්නේ, මෙම සුළි කුණාටුවෙන් දශක ගණනාවකට පසු සිදු වූ දරුණුතම ජලගැල්ම ඇති වූ බවයි.

  • ජලයෙන් යට වූ බිම් ප්‍රමාණය: හෙක්ටයාර් මිලියන 1.1ක් (ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 20%ක් පමණ)
  • බලපෑමට ලක් වූ ජනගහනය: මිලියන 2.3ක් 
  • නාය යෑම්: 1,200කට ආසන්න සංඛ්‍යාවක් 
  • හානි වූ යටිතල පහසුකම්:
    • රෝහල් 243ක් සහ පාසල් සිය ගණනක් ඇතුළුව, ගොඩනැගිලි 720,000කට ආසන්න ප්‍රමාණයක්.
    • කිලෝමීටර් 16,000කට අධික මාර්ග සහ පාලම් 480ක්.
    • කිලෝමීටර් 278කට අධික දුම්රිය මාර්ග සහ දුම්රිය පාලම් 35ක්.
  • ජනනය වූ අපද්‍රව්‍ය: ඉදිකිරීම් නොවන අපද්‍රව්‍ය ටොන් 240,000කට වඩා 
  • කෘෂිකාර්මික පාඩු: හෙක්ටයාර 530,000කට අධික ප්‍රමාණයක් 

ගංවතුර බලපෑමත් සමග, ආපදා සිදු වීමටත් පෙර පැවති ඉහළ ණය බර හා අස්ථාවර ආදායම් මාර්ග වැනි සමාජ-ආර්ථික අර්බුද වලින් ගහන ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ අවශ්‍යතා වඩාත් තීව්‍ර වී ඇත. පුත්තලම, කිලිනොච්චිය, මුලතිව්, මධ්‍යම කඳුකර ප්‍රදේශ සහ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල කොටස්වල මෙම තත්ත්වය දැඩි ලෙස පවතී.  

මෙම ප්‍රදේශ වල ජනතාවට, හානියට පත් නිවාස, කඩාකප්පල් වූ ජීවනෝපායන්, දුර්වල වූ දේශීය පාලන පද්ධති සහ මූලික සේවා සඳහා ප්‍රවේශය අහිමි වීම ප්‍රධාන අභියෝග බවට පත් වී තිබේ.

තවද, අත්‍යවශ්‍ය සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට සහ සුරක්ෂිතතා පද්ධති ශක්තිමත් කිරීමට UNDP විසින් කඩිනම් මූල්‍යකරණය සඳහා ප්‍රමුඛතා මාලාවක් හඳුනාගෙන ඇත.

  • සුන්බුන් සහ අපද්‍රව්‍ය ඉවත් කිරීම.
  • ප්‍රජා යටිතල පහසුකම් සහ සේවා සැපයීමේ ජීවන මාර්ග යළි ගොඩනැගීම.
  • ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) සහ ගෘහස්ථ ආදායම් උත්පාදනය සඳහා සහාය වීම.
  • අහිමි වූ සිවිල් සහ මූල්‍ය ලේඛන ප්‍රතිස්ථාපනය කිරීම (පවුල් බැංකු, සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම සහ ප්‍රතිසාධන ආධාර වෙත යළි සම්බන්ධ කිරීමට).
  • ඉලක්කගත කිරීම,ලේඛන කළමනාකරණය වැනි කටයුතු සඳහා පළාත් පාලන පද්ධති තාවකාලිකව ශක්තිමත් කිරීම.

ඒ අනුව කුබෝටා අවධාරණය කළේ, ජලගැල්ම සහ අවදානම් සහගත තත්ත්වයන් එකිනෙක හා බැඳුණු ප්‍රදේශවල යථා තත්ත්වයට පත් කිරීම මන්දගාමී හා මිල අධික විය හැකි බැවින්, එම කටයුතු සඳහා මුල්කාලීන ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බවයි.

මේ සඳහා සහාය වීමට UNDP දැනටමත් රජය සහ හවුල්කරුවන් සමඟ සහන සහ ප්‍රතිසාධන කටයුතුවල නිරත වෙමින් සිටියි.

කෙසේ නමුත්, ශ්‍රී ලංකාවේ ණය බරට එකතු නොවන සහ ජීවනෝපායන් ස්ථාවර කරන ප්‍රතිසාධනයක් සහතික කිරීම සඳහා බාහිර මූල්‍යකරණය අතිශයින් වැදගත් බව එම සංවිධානය දිගින් දිගටම අවධාරණය කරයි.