ආර්ථික
18 වන වරටත් ශ්‍රී ලංකාව IMF වෙත යොමු වෙයි
image for 18 වන වරටත් ශ්‍රී ලංකාව IMF වෙත යොමු වෙයි

2020දී උද්ධමනකාරී ලෙස පොලී අනුපාත අඩු කිරීම හේතුවෙන්, IMF වෙත යාම, ශ්‍රී ලංකාවේ අවසාන IMF වැඩසටහන වනු ඇතැයි බලාපොරොත්තු වී වසරක් ගතවීමටත් මත්තෙන්, 2025 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව නැවතත් සිය 18වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) වැඩසටහනට පිවිසීමට සැරසෙයි.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක නිවේදනය කළ පරිදි, ශ්‍රී ලංකාව නැවත IMF වෙත යොමු වීමට ප්‍රධාන හේතු දෙකක් බලපා ඇත. 

ඉන් පළමුවැන්න වන්නේ ‘දිත්වා’ සුළි කුණාටුවෙන් පසු අමතර වියදම් ලෙස රුපියල් බිලියන 500ක් ලබන වසරේ අයවැයට එක් කිරීමට සිදුවීමයි. 

මෙම අමතර වියදම හේතුවෙන් දැනටමත් එකඟ වී ඇති මූල්‍ය ඉලක්ක (fiscal targets) සංශෝධනය කිරීමට සිදුවේ. 

නව වැඩසටහනට යොමු වීමට බලපෑ දෙවැනි ප්‍රධාන හේතුව වන්නේ මුදල් අර්බුදයේ අවදානම නැවත මතුවීමයි.

මෙම අවදානම මූලිකවම මතුවූයේ පුද්ගලික ණය ඉහළ යෑම සහ පොලී අනුපාත කපා හැරීම හේතුවෙන් විදේශ විනිමය සංචිත එකතු කිරීමේ ගැටළු ඇතිවීමෙනි.

තවදුරටත්, ‘තනි ප්‍රතිපත්ති අනුපාතයක්’ සහ ‘විභව නිමැවුම් ඉලක්ක කිරීම’ වැනි IMF උපදෙස් මත පදනම් වූ මහ බැංකු ක්‍රියාමාර්ග අනුගමනය කිරීම මගින් මෙම අවදානම තීව්‍ර විය.

මෙහිදී ශ්‍රී ලංකා ආණ්ඩුව IMF වෙතින් මූල්‍ය ආධාර පහසුකම් අපේක්ෂා කරන අතර, ඊට සමගාමීව ලබා ගත් පැරණි ණය වාරික ගෙවීමට ද බැඳී සිටී.

ඒ අනුව, IMF විසින් කොන්දේසි අඩු, සමාලෝචන රහිත ඇමරිකානු ඩොලර් මිලියන 200ක ඉක්මන් මූල්‍යකරණ උපකරණයක් (RFI) ලබා දීමට අපේක්ෂා කරයි. 

එම සහනය හදිසි ගෙවුම් ශේෂ අවශ්‍යතා සඳහා ලබා දෙන තනි වාරිකයක් වේ.

කෙසේ වෙතත්, 2025 වසරේදී 2016දී ලබාගත් ණය සඳහා ශ්‍රී ලංකාවට IMF වෙත ඇමරිකානු ඩොලර් මිලියන 226ක් පමණ ආපසු ගෙවීමට නියමිත ය.

මෙලෙසින් ශ්‍රී ලංකාව මුහුණ දෙන මෙම ගැටළු හුදකලා සිදුවීම් නොව, දිගු කලක් තිස්සේ පැවත එන අඛණ්ඩ අර්බුදයක පසුබිමක් ඇති බව සැලකිය යුතු ය.

1950දී මහ බැංකුව පිහිටුවීමේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 4.77 ක් වූ නමුත්, එය මේ වන විට 308 දක්වා අවප්‍රමාණය වී ඇත. 

නමුත් වඩාත් භයානක තත්ත්වය වන්නේ, 2025 වසරේදී පවා වාර්තාගත වත්මන් ගිණුම් අතිරික්තයන් සහ අයවැය හිඟය අඩු වීම මධ්‍යයේ රුපියල 297 සිට 308 දක්වා නැවතත් අවප්‍රමාණය වීමයි.

ආර්ථික විචාරකයින් පවසන්නේ මහ බැංකුවේ මෙහෙයුම් රාමුව නිවැරදි නොකිරීම, දේශීය හුවමාරු (domestic swaps) හරහා විදේශ විනිමය පාඩු ඇති කිරීම සහ ‘පිරිසිදු පාවීමකින්’  (Clean Float) තොරව නම්‍යශීලී උද්ධමන ඉලක්ක කිරීම (flexible inflation targeting) වැනි ප්‍රතිපත්තිමය දෝෂ හේතුවෙන් IMF වැඩසටහන් වෙත නැවත නැවත යෑමට සිදුව ඇති බවයි.

මේ ආකාරයට 1970 දශකයේ සිටම ශ්‍රී ලංකාව IMF වැඩසටහන් වලට අඛණ්ඩව යොමු වී ඇත.

IMFහි හිටපු ප්‍රථම නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ගීතා ගෝපිනාත් 2025 ජුනි මාසයේදී ප්‍රකාශ කළේ “මේ වතාවේ වෙනස් විය යුතුයි” සහ මෙය ශ්‍රී ලංකාවට අවශ්‍ය වන අවසාන IMF වැඩසටහන විය යුතු බවයි.