ආර්ථික
රට පුරා විදුලි සම්බන්ධතාවයෙන් 85%ක් යථා තත්ත්වයට
image for රට පුරා විදුලි සම්බන්ධතාවයෙන් 85%ක් යථා තත්ත්වයට

ශ්‍රී ලංකාවට බලපෑ හදිසි ආපදා තත්ත්වයෙන් පසුව, බලපෑමට ලක් වූ දළ වශයෙන් මිලියන 3.9ක පාරිභෝගිකයින් සංඛ්‍යාවෙන් 85%ක් සඳහා විදුලි සම්බන්ධතා යළි ස්ථාපිත කිරීමට හැකි වූ බව ලංවිම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත ප්‍රකාශ කළේ ය.

ඔහු මේ බව සඳහන් කළේ, දෙසැම්බර් 04 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිවේදනය කළේ ය.

රට පුරා විදුලි පාරිභෝගිකයින් මිලියන 7කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර, ඔවුන්ගෙන් මිලියන 3.9 ක විදුලි සම්බන්ධතා බිඳ වැටී ඇත. 

නමුත් මේ වන විට එම පාරිභෝගිකයින්ගෙන් 85%කට පමණ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇත.

එසේම හදිසි ආපදා තත්ත්වය අතරතුරදී අක්‍රිය වූ ට්‍රාන්ස්ෆෝමර් 16,771ක් අතරින් 14,549ක් මේ වන විටත් අලුත්වැඩියා කර ප්‍රතිස්ථාපනය කර ඇත.

ඉතිරි විසන්ධිවීම් හැකි ඉක්මනින් ප්‍රතිස්ථාපනය කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙම ජීවිතාරක්ෂක මෙහෙයුම් අතරතුරදී ලංවිම විදුලි සේවකයෙකු වන අනුරුද්ධ කුමාරට සිය ජීවිතය අහිමි වූ බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කණගාටුවෙන් යුතුව දැනුම් දුන්නේ ය.

ඒ අනුව, විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ මෙම වෙහෙසකර ක්‍රියාවලියේදී ජීවිත පූජා කළ එම සේවකයාට ලංකා විදුලිබල මණ්ඩලයේ උපහාරය හිමිවන බවත්, ඔහුගේ පවුල වෙනුවෙන් සියලු සහයෝගය ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.