ආර්ථික
ශ්‍රී ලංකාව සුරක්ෂිතයි: සංචාරක ප්‍රමුඛයන්ගෙන් සහතික!
image for ශ්‍රී ලංකාව සුරක්ෂිතයි: සංචාරක ප්‍රමුඛයන්ගෙන් සහතික!

දිත්වා සුළි කුණාටුවෙන් පසු සංචාරක කර්මාන්තය ‘සාමාන්‍ය තත්ත්වයට’ පත්ව ඇති බවට ජාත්‍යන්තර සංචාරකයින්ට කඩිනමින් සහතික කිරීම සඳහා, THASL සහ SLAITO යන ප්‍රමුඛ ආයතන, ශ්‍රී ලංකා සංචාරක අංශය සමඟ ඒකාබද්ධව ක්‍රියා කිරීමට කටයුතු කර ඇත.

එහිදී, සංචාරක කර්මාන්තය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තරයට දැනුම් දීම සඳහා, ඒකාබද්ධව මහජන සම්බන්ධතා සහ සමාජ මාධ්‍ය ප්‍රචාරණයක් දියත් කිරීමට නියමිතයි.

තව ද, දෙසැම්බර් 03 බදාදා දින පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී, SLTDA, THASL, සහ SLAITO සභාපතිවරුන් අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ සංචාරක අංශය “දිත්වා” සුළි කුණාටුවෙන් පසු පවා ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමේ හැකියාව සහ නැගී සිටීමේ හැකියාව නැවත වරක් පෙන්නුම් කර ඇති බවයි.

මෙහිදී, සම්බන්ධීකරණ කර්මාන්ත ක්‍රියාමාර්ග, ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා සහ ගෝලීය සංචාරක හවුල්කරුවන්ගේ තහවුරු කරන ලද විශ්වාසය හේතුවෙන් සංචාරක සමය සඳහා වන අපේක්ෂාවන් ශක්තිමත්ව පවතින බව ද ඔවුහු පෙන්වා දුන් හ.

වැඩිදුරටත් SLTDA සභාපති හේවාවසම් පැවසුවේ, විදේශ කටයුතු අමාත්‍යවරයා වන විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධීකරණයක් සිදු කරන බවයි.

එසේම, සුළි කුණාටුවෙන් පසු කර්මාන්තයේ කඩිනම් යථා තත්ත්වයට පත්වීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා, සංචාරක අමාත්‍යාංශය ප්‍රමුඛ නිලධාරීන් සහ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් කොළඹ සහ විදේශයන්හි සිටින දූතයින් සමඟ දෙවන වටයේ සාකච්ඡා ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව ද අවධාරණය කළේ ය.

මෙහි අරමුණ නම්, සුළි කුණාටුවෙන් පසු සංචාරක යටිතල පහසුකම්වල තත්ත්වය, හෝටල් මෙහෙයුම් සහ අමුත්තන්ගේ ආරක්ෂාව පිළිබඳ නිවැරදි තොරතුරු විදේශීය ආණ්ඩු වෙත ලබා දීමයි.

එමෙන්ම, විපතේදී සංචාරකයින් කළමනාකරණය කිරීම සහ කඩිනමින් යථා තත්ත්වයට පත් වීමට ගත් උත්සාහය වෙනුවෙන්, දූත මණ්ඩල දැනටමත් බලධාරීන්ට ප්‍රශංසා කර ඇතැයි SLTDA සභාපතිවරයා සඳහන් කළේ ය.

තව ද, මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, SLTDA සභාපතිවරයා අවධාරණය කළේ 2025 නොවැම්බර් 30 දක්වා පැමිණීම් දත්ත සාමාන්‍ය රටා පෙන්නුම් කරන බවත්, කාලගුණයට අදාළ බාධා කිරීම් තිබියදීත් දෛනික පැමිණීම් ස්ථාවරව පවතින බවත් ය.

ප්‍රධාන වශයෙන් ඉන්දියාවෙන් සිදු වූ 1% – 5% ක සුළු අවලංගු කිරීම් හැර, ප්‍රධාන අවලංගු කිරීම් වාර්තා වී නොමැත. එසේම ශීත සෘතු වෙන් කිරීම් සාමාන්‍ය පරිදි ඉදිරියට යයි.

මීට අමතරව, ජර්මානු බහුජාතික සමාගමක් වන TUI AG මගීන් 2,000කට අධික නෞකාවක් අඟහරුවාදා මෙරටට පැමිණි අතර, විශේෂ හා නියමිත ගුවන් ගමන් මෙහෙයුම් බාධාවකින් තොරව සිදු වේ.

තව ද, ආගමන විගමනය මගින් වාර්තා කරන සංචාරක ගමනාගමනය අපේක්ෂිත සෘතුමය ප්‍රවණතාවලින් සැලකිය යුතු බැහැරවීමක් පෙන්නුම් නොකරන බව සභාපතිවරයා සහතික කළේ ය.

මීට අදාළව කරුණු දැක්වූ THASL සභාපති හෙට්ටිගොඩ පැවසා සිටියේ, මීගමුව, පාසිකුඩා, සංස්කෘතික ත්‍රිකෝණය, යාපනය ඇතුළු බොහෝ ප්‍රදේශවල හෝටල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ය.

වැඩිදුරටත්, හෝටල්වල කාමරවලින් 65%ත් 70%ත් අතර ප්‍රමාණයක් දැනටමත් වෙන් කර ඇති බව ඔහු අවධාරණය කළේ ය.

එසේ ම, රට පුරා මාර්ගවල වාහන ගමනාගමනය දැනටමත් යථා තත්ත්වයට පත් කර ඇති හෙයින්, ඉදිරි දිනවලදී මහනුවර සහ නුවර එළිය වෙත ප්‍රවේශය තවදුරටත් වැඩිදියුණු වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේ ය.

සභාපතිවරයා තවදුරටත් අවධාරණය කළේ, සංචාරකයින් වනජීවී උද්‍යාන සහ විනෝද චාරිකා ඇතුළු අනෙකුත් ක්‍රියාකාරකම් බාධාවකින් තොරව භුක්ති විඳින බවත්, හෝටල්වල ආහාර, විදුලිය හෝ ජලය හිඟයකින් තොරව පූර්ණ සේවා මට්ටමින් ක්‍රියාත්මක වන බවත් ය.

එමෙන්ම, රටේ සංචාරක සේවාවලින් 90%ක් ක්‍රියාත්මක බව ජාත්‍යන්තරයට  දැනුම් දීම සඳහා THASL, SLAITO, සහ SLTPB ඒකාබද්ධ සමාජ මාධ්‍ය ප්‍රචාරණයක් දියත් කරන බව ද ඔහු පැවසුවේ ය.

සාකච්ඡාවට එක් වෙමින් SLAITO සභාපති ජයසුන්දර ද අවධාරණය කළේ ගෝලීය සංචාරක ක්‍රියාකරුවන් තවමත් ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසයෙන් සිටින බවයි.

ඔහු පෙන්වා දුන්නේ, TUI හි විශාල සුඛෝපභෝගී නෞකාවක් මෙරටට පිළිගැනීම මෙහි ප්‍රබල සංකේතයක් වන බවයි. 

එමෙන්ම, ශ්‍රී ලංකාවේ දකුණු කලාපය, විශේෂයෙන්ම දකුණු පළාතේ ග්‍රාමීයව ඇති ප්‍රදේශ අවම බලපෑමකට ලක්වීම නිසා එහි සංචාරක චාරිකා බාධාවකින් තොරව සිදුවන බවද ඔහු කියා සිටියේ ය. 

මේ අනුව, ඉදිරියේදී සංචාරක වෙන් කිරීම් නැවත අවලංගු කිරීම අවම මට්ටමක පවතින බව ශීත ඍතුවට තහවුරු කර ඇති වෙන් කිරීම් සමඟ සැසඳීමේදී පෙනීයන බව ද අවධාරණය කළේ ය.